කොළඹ කොටුවේ සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබු අංක 1023 දරණ ටිකිරි මැණිකේ සීඝ්රගාමි දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර වටගොඩ දුම්රිය පාලම මතදී පීලි පැනීමටකට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද (16) බාධා එල්ල වී පැවැතිණි.
වටගොඩ දුම්රිය පාලම මතදී දුම්රියේ එන්ජීම සහිත කොටස මෙසේ පීලි පැනීමට ලක්වු බවත්, මේ හේතුවෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුව තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතාතත්ත්වයට පත්වන තුරු කොළඹ කොටුවේ සිට ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, බදුල්ලේ සිට ධාවනය වන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථාන දක්වාත් ධාවනය කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයට සිදුව ඇති හානි හේතුවෙන් මාර්ගය සකස් කිරීමේ කටයුතු සඳහා වැඩි කාලයක් ගතවීමට ඉඩ ඇති බවත්, හැටන් සහ නානුඔය දුම්රිය ස්ථානවලට පැමිණෙන දුම්රිය මගීන් වෙනුවෙන් බස් රථ මගින් ප්රවාහන පහසුකම් සලසාදීමට පියවර ගෙන තිබු බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්රකාශකයෙකු පැවැසුහ.
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී ඉකුත් 13 දිනද දුම්රියක් පීලි පැලීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැතිණි.
ශාන් හුලංනුගේ
පින්තූර- ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමට ලක්ව තිබු අයුරු