නගරවල වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන වාහනයකින් එක් කිලෝමීටරයක් සඳහා රජයට රුපියල් 103.56ක වියදමක් දැරීමට සිදුව ඇති බව විද්වතුන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අද දින (26දා) පෙරවරුවේ ප්‍රවාහනයේ දී පාපැදි භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා Ride for Life සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන සුව දිවියට පාපැදිය වැඩ සටහන සම්බන්ධව සාකච්ඡාවකින් පසු පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට එම සංවිධානයේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.
නමුත් පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වායුදූෂණය අවම කර ගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කර ගැනීමට ඇති හැකියාව නිසා පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව මේ වනවිටත් පරිසර අමාත්‍යවරයා වශයෙන් වායු දූෂණය අවම කර ලීමේ එක් පියවරක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් සඳහන් කළේය. ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්රතිලාභයන් ලබා දීමේ නියාමණ වැඩ සටහනක් හඳුන්වා දීමට ද තීරණය කර ඇත.
එමෙන්ම එම වැඩ පිළිවෙළ අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට හඳුන්වා දීම සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබා ගැනීමට නියමිතය.මේ අයුරින්ම ඉන්ධන භාවිතය නිසා සිදුවන පාරිසරික හානිය අවම කරලීම සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කරනු ලැබ තිබේ. එමෙන්ම ඉදිරි වර්ෂය තුළ වාහන අනයනය කරන්නේ නම් විදුලිබලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ජනාධීපතිවරයා තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී Ride for Life සංවිධානය වෙනුවෙන් අදහස් කළ වෛද්‍ය අසේල අබේධීර මහතා දැනටමත් අප රටේ වෘත්තිකයින් සිය ගණනක් මෙම කටයුත්ත සඳහා ඉදිරිපත් ව ඇති බව පැවසීය. වාහන භාවිතය වෙනුවට රාජකාරි සඳහා කාර්යාලවලට පැමිණීමේ දී පාපැදි භාවිතය මේ වනවිට ලොව පුරා රැල්ලක් නිර්මාණය කර ඇත. එමගින් ජාතික ධනය ඉතිරි කර ගැනීමට හැකි වන අතරම පරිසර දූෂණය හා ලෙඩරෝගවලට ගොදුරුවීම අවම කර ගැනීමට ද හැකි වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙතෙක් දුප්පතාගේ වාහනය ලෙස සැළකූ පාපැදිය වර්තමානයේ පොහොසතුන්ගේ වාහනයක් බවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.