ජාඇල කණුවන සමූපාකාර ග්‍රාමීය බැංකුව තුල දින තුනක් රැඳී සිට සේප්පු කපා රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා කිලෝ 2 ක බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සොරාගත් පුද්ගලයා පැය 48 ක් යාමට මත්තෙන් කොල්ලූපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසලදී හොරයින් මත්කුඩු මිලිගෑම් 11200 ක් සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේද එම බැංකුවෙන් සොරාගෙන තිබූ ගනුදෙනුකරුවන් 500 කට ආසන්න ප්රමාණයකගේ කිලෝ 2 කට ආසන්න බරින් යුත් රන් භාණ්ඩ තොගය , සේප්පු කැපීමට යොදාගත් , ගයින්ඩරය , අඬු , මිටි, තල හා විදුලි පන්දම සහ එදින ඇඳ සිටි ඇඳුම් පැළඳුම් ද පොලිසිය මගින් සොයාගෙන ඇත
ඊට අමතරව සැකකරු එම සොරකම සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත
ඉකුත් 25 වෙනිදින ජාඇල කණුවන ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනිය දින දෙකකට පසු බැංකුව විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී බැංකුවේ පැති බිත්තියක් අඩි එකහමාරක පමණ විෂ්කම්භයකින් හාරා කිසියම් සොර කණ්ඩායමක් ඇතුලට පැමිණ සේප්පු කපා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇති බවට ජාඇල පොලිසියට පැමිණිලි කර තිබිණි
අදාල සොරකම සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී වි. පි ජේ පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කළ එහි වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර මහතා ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු අදාල ග්‍රාමීය බැංකුව වෙත ගොස් ස්ථාන පරීක්ෂණ සිදුකර එහි බිම වැටී තිබූ සේප්පු කැපීමට ගයින්ඩරේට යොදාගත් තල සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර එම තල චීනයෙන් මෙරටට ගෙන්වන දෙල්ගොඩ ප්‍රදේශයේ අදාළ ආයතනය වෙත ගොස් එහි සහයද ලබාගෙන ඉතාමත් සංකීර්ණව කෙටි කාලයක් තුළ විමර්ශන කඩිනමින් සිදු කිරීමට පියවර ගත්හ
ඒ අනුව රාගම ප්‍රදේශයේ වෙළඳ ආයතනයකට ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේදී පුද්ගලයකු මෝටර් රථයකින් අවස්ථා තුනකදී පැමිණ එයින් දෙකකදි ගයින්ඩර් වලට යොදා ගන්නා තල අත්වැසුම් අඩු මිටි හා අත්වැසුම් ආදිය මිල දී ගන්නා අයුරු සටහන්ව තිබෙන අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටීමෙන් අනතුරුව ඔහු පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකයද සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය
එහි ප්‍රතිඵලයක් ලෙස බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට ගොස් එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී කොළඹ ආශ්රිත රාත්‍රී සමාජ ශාලාවල නිරතුරුවම ගැවසෙන්නෙක් බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි
ඒ අනුව සමාජ ශාලා කිහිපයක් අසල අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඇතැතිව රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් කොල්ලූපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක සිට පිටතට පැමිණෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 22වෙනි දින සවස 5.30 ට පමණ ජා ඇල කණුවන ග්‍රාමීය බැංකුවට ඇතුළුවී දින 3 ක් එහි රැඳී සිට සේප්පු කපා රන් භාණ්ඩ හා මුදල් සොරා ගෙන 24 වෙනිදින පිට වු බවයි
සොරාගත් රන් ආභරණ තොගය ඔහු නවාතැන් ගෙන සිටින රාගම හොරපේ ප්‍රදේශයේ කාමරයක ඇඳයට සහ කබඩ් එකක් තුළ තබා තිබෙන බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එහි ගිය පොලිස් නිලධාරීන් විසින් කිලෝ 2 කට ආසන්න බරින් යුත් රන් ආභරණ තොගේ සොයා ගැනීමට සමත් වී ඇත
එම කාමරයේම පසෙක ග්‍රාමීය බැංකුවේ සේප්පුව කැඩීමට යොදාගත් ආම්පන්න තොගය සහ එදින හැඳ සිටි ඇඳුම් ද පොලිස් භාරයට ගනු ලැබීය
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම රන් ආභරණ තොගයෙන් කොටසක් පිටකොටුව හෙට්ටි වීදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසැල් කීපයකට විකුණා රුපියල් ලක්ෂ 24 මුදලක් ලබාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඉතිරි මුදල් කැසිනෝ ක්‍රීඩාව සඳහා වැය කළ බව ප්‍රකාශ කල බව පොලිසිය කියයි
සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී 2023 සැප්තැම්බර් මස 27 වෙනි දින වෙන්නප්පුව මනම්පිටිය සමූපාකාර ග්රාමීභයංකයේ ජනේලයේ ග්‍රීල් කපා ඇතුළු වී මේ ආකාරයෙන්ම සේප්පු කපා පවුම් 447 එනම් කිලෝ 3 1/2 බරින් යුත් කෝටි ආසන්න රන් භාණ්ඩ සොරකම සිදු කළේ මොහු බවට අනාවරණය වූ බවත් එම රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදල් වලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට කොළඹ වාහන අලෙවි සැලකින් මෙම මෝටර් රථය මිලදී ගත් බවත් සැකකරු ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ඇත
ඊට අමතරව 2022 හා 2024 වසර ඇතුළත ජාඇල වැලිසර , රාගම මහභාගයේ කඩවත , තැපැල් කාර්යාල ,සතොස ආයතන ,තැපැල් කාර්යාල හා පිසා හට් වැනි ආයතන වල සේප්පු කපා මුදල් සොරාගෙන ඇත්තේ මෙම සැකකරු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි
එකම සොරකමකටත් මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්නොවී නිදැල්ලේ සැරි සරමින් සුඛෝභෝගී ජීවිතයක් ගත කරමින් දැඩිව කැසිනෝ ක්‍රීඩාවට , තුරග තරග ක්‍රීඩාවට මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව ඇති බව පොලිසිය සඳහන් කරයි
37 ඇවිරිදි සැකකරු කැස්බෑව මඩපාත කහපොළ පදිංචිකරුවෙකි.