සමනල වැව හා උඩවළවේ ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වී ඇතුළු අනෙකුත් බෝග සහ විදුලි බල නිෂ්පාදනය අඩාළ වීම අනුව ඉදිරි සතියක කාලය තුළදී සමස්තයක් ලෙස රු.බිලියන 30ක පමණ අලාභයක් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මේ බව අනාවරණය වී ඇත්තේ සමනලවැවේ සිට උඩවළවේ ජලාශයට දින 10කට සෑහෙන ජලය ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරීන් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කරන ලද සාකච්ඡාවකදීය.
මෙහිදී සමනල වැවට හා උඩවළවේ ජලාශයට පසුගිය කාලය තුළ අපේක්ෂිත වර්ෂාවෙන් ලැබී ඇත්තේ 50%ක ජල ධාරිතාවක් වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි සතියක කාලය තුළ වී වගාවෙන් රු. බිලියන 16.81ක අලාභයකුත්, විදුලිබල නිෂ්පාදනය අඩාළවීම හේතුවෙන් රු. බිලියන 1.6ක අලාභයකුත් සිදු විය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ.
මේ හැර ජලය නොලැබීම හේතුවෙන් කෙසෙල් හා අනෙකුත් බෝග වගාවන්ට සිදුවන හානිය ද ගත් කල සමස්තයක් ලෙස රු. බිලියන 30ක අලාභයක් සිදු විය හැකි බවත්, එසේම මෙම වසරේ සහල් නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ විදුලි බල මණ්ඩල නිලධාරින් ප්‍රකාශ කරන පරිදි මේ වනවිට සමනල වැව ජලාශයේ ජල ධාරිතාව MCM 87.9 (Million Cubic Meters) දක්වා පහත බැස ඇති බවයි. ඒ අනුව දින 10ක් ජලය ලබා දුනහොත් එම ජල මට්ටම MCM 60 දක්වා පහත බසින අතර දකුණු පළාතට පැය 01 සිට 03 දක්වා වූ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇස්තමේන්තු අනුව මේ වනවිට පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට අධික ප්‍රමාණයක් විනාශවී යෑමේ තත්ත්වයකට මුහුණ පා තිබේ.