ලුනුගල මඩුවත්ත පාසල අසල ජනතාව දිය නෑමට භාවිතා කල ජල පීල්ලක ගලා ගිය ජල පහරක් අද (23) හිටිහැටියේ එක්වරම නතර වී යාමත් සමඟ එම ප්‍රදේශයේ නාය යාමේ අවධානමක් තිබේදැයි පරික්ෂා කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ට දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
මෙම ලුනුගල මඩුවත්ත පාසල අසල පසුගිය 2023 වසරේ ගිලා බැස නායයාමට ලක්වූ බවත් ,ඒ අසල ඇති පාසල හදිසි සහන කදවුර භූමියක් ලෙසට යොදා ගන්නා බවද එම මධ්‍යස්ථානය සදහන් කළේය .
එම නාය යාමට ලක්වූ ස්ථානය ට පහළ කුඹුරක ජල පීල්ලක් ඔස්සේ ගලා ගිය ජල පහර ජනතාව දියනෑමට වැනි විවිධ අවශ්‍යතා සදහා යොදා ගත් බවත් , ජල පහර නැවතී දැනට පොලොව අභ්‍යන්තරයේ ගලා බසින බවත් , මේ අවට පවුල් 110ක් පමණ සිටින බව ආපදා සහන සේවා නිළධාරි පැවසීය .
මේ දිනවල මෙම ප්‍රදේශයට වර්ෂාව පතිත වන අතර ,වර්ශාවත් සමඟ නාය යාමේ අවධානමක් මතු විය හැකි හෙයින් මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා පරික්ෂා කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් දැනුවත් කල බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ප්‍රසාද් රුක්මල්