ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ.
මේ පිළිබද කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 25 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 2020, 2021 හා 2022 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණි. ලෝකයේ රටවල් තුළ පවතින වනාන්තර වල ප්‍රතිශතය 31% ලෙස සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. 2018 වන විට හෙක්ටයාර මිලියන 1.4 ක පමණ වනාන්තර ගැසට් කර ඇති බවත් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකළ වනාන්තර හෙක්ටයාර දෙලක්ෂ පනස්හය දහසක් පමණ පවතින බවත් නිලධාරීහු පැවසුහ. ඒ අනුව එම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් කාරක සභා සභාපතිවරයා එලෙස ගැසට් කිරීමට ගතවන කාලය ,ගැසට් කිරීමෙන් පසු එම වනාන්තර කුමන අධිකාරිය භාරයේ පවතින්නේද යනාදී කරුණු ඇතුළත් වාර්තාවක් මාස දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස උපදෙස් ලබාදුන්නේය.