ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කිරීමත් සමග ශ්රී ලංකා නිදහස් පක්ෂය කොටස් තුනකට කැඩී ඇති බව 'අද' පුවත්පතට වාර්තා වේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුවිය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා පවසා සිටියේ, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම ගෝඨාභය රජපක්ෂක් මහතා දිනවීමට සුදානම් බවයි.
එසේම පක්ෂයේ පළාත් සභා, ප්රාදේශීය සභා නියෝජිතයෝ මෙන්න ආසන සංවිධාකයෝද ඒ වෙනුවෙන් කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
එසේ වුවද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් වන ශ්රී ලංකා නිදහස් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා පැවසූයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පමණක් ගෝඨාභය රජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වී ඇති බවත්, ඔවුන් එසේ කරන්නෙ තනතුරු ලාභ ප්රයෝජන අපේක්ෂාවෙන් බවත්ය.
රාජපක්ෂවරුන් ජයග්රහණය කර වීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සූදානම් නොමැති බවත්, එහෙයින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණට හෝ වෙනත් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සොය නොදී නිහඬව සිටීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු තීරණය කර ඇති අතර, තමා ඔවුන් සමග සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂය කොටස් තුනකට වෙන් වී ඇති අතර, තමා ඇතුළු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධානයකවරුන් 183 දෙනෙකු පොදුජන පෙරමුණේ අපේක්ෂයා පරාජය කිරීමට කටයුතු කරන බව ශ්රී ලංකා නිදහස් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා %අද^ පුවත්පතට ප්රකාශ කළේය.
ඒ පිළිබඳ වැඩිදුටරත් අදහස් දැක්වූ රජිත කොඩිතුවක්කු මහතා,
"ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයාට සිදුවුණ හානියෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. තනතුරු වරප්රසාද සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ටික පොදුජන පෙරමුණ සමග එකතු වුණත් නිදහස් පක්ෂයේ ප්රතිපත්ති එක්ක ඉන්න ගමේ මනුස්සයා කැමති නැහැ එහෙම එකතු වෙන්න. ඔවුන් රාජපක්ෂවරුන්ට විරුද්ධව කටයුතු කරනවා. රාජපක්ෂවරුන්ව පරාජය කිරීම සඳහා අපි ඔවුන්ට නායකත්වය ලබාදෙනවා.
ජනාධිපතිතුමා ස්වාධීනව සිටිනවා කියලා කියනවාට වඩා ජනාධිපතිතුමා පොදුජන පෙරමුණට ගියේ නැහැ කියන එකයි තිබෙන හොඳම සංඥාව. හැමෝම කැමති විදිහට ජනාධිපතිතුමත් ඔවුන්ට උදවු කරන්න සියයට සියයක්ම කැමති නම් එතුමා ඒ වෙනුවෙන් මේ අවස්ථාවේදී පෙනී ඉන්නවා. නමුත් ජනාධිපතිතුමා රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ කියන දෙයින් අදහස් වෙන්නේ එතුමා එයට කැමති නැහැ කියන කාරණය. කැමති අයට යන්න කියලා ජනාධිපතිතුමා නතර වුණා.
ජනාධිපතිතුමාව අසරණ කරපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 12 ඔවුන්ගේ අනාගතය ගැන හිතලා ගත්තු තීන්දුවට වඩා ආසන සංවිධායකවරු 183 දෙනා ජනාධිපතිතුමාට කරන ලද ඉල්ලීමට ජනාධිපතිතුමා ප්රතිචාර දැක්වුවා කියලා තමයි අපි හිතන්නේ. පොදුජන පෙරමුණ පරාජයට පත්කළ යුතුයි කියන අපේ අදහසේම තමයි ජනාධිපතිතුමාත් ඉන්නේ. එය ප්රකාශ කරන්න ජනාධිපතිතුමාට සීමා සහිත අවස්ථාවක් තිබෙන්නේ. අපි අපේ ස්ථාවරය ප්රකාශ කරනවා" යැයිද පවසා සිටියේය.
