ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව එකතුව ඉදිරියේදී තීරණයක් ගනු ලබන බවත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් ඉටු කළහොත් හා ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය පළ කිරීමේ හැකියාව පවතින බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.
මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂය විසින් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කොට ඇති බවත්, ඒ සඳහා ලබා දෙන විසඳුම් අනුව ඉදිරියේදී ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය පල කිරීම පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව විසින් තීරණයක් ගනු ඇති බවද හෙතම කීය.
කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේ ඊයේ (10) පැවැති ලංකා කම්කරු කොංග්‍රසයේ කාන්තා දින සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව පැවැසීය.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අප ඉල්ලීම් තුනක් ඉදිරිපත් කොට තිබෙනවා. පළමු කරුණ තමයි කඳුකරයේ නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි යන්න. ඒ අනුව ජනාධිපතිවරයා නිවාස 10000ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තත්ත්වයන් මේ වනවිට නිර්මාණ කොට තිබෙනවා.
දෙවැන්න තමයි උඩරට වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුවට ස්ථීර විසඳුමක් අවශ්‍ය බව. මේ වනවිට කර්මාන්ත අමාත්‍යවරයා වැටුප් වැඩි කිරීමේ මණ්ඩලය හරහා වැටුප් වැඩිවීම ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මෙය තාවකාලික විසඳුමක් බැවින් ඊට ජනාධිපතිවරයා ස්ථීර විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි.
අනෙක් කරුණ තමයි වතුකරයේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා රුපියල් මිලියන හාරදහසක මුදලක් වෙන් කොට තිබෙනවා. වතු ජනතාවට ඉඩම් කොටස් වෙන වෙනම ලබාදිය යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම ඉල්ලීම් ඉටු කොට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් අපි එතුමාට සහයෝගය ලබාදීම පිළිබඳව අප පක්ෂයේ ජාතික සභාවේදී තීරණයක් ගන්නවා.
අපි ගිවිසුම් අත්සන් කරලා දේශපාලනය කරන්නේ නැහැ. අපි ඉල්ලීම් වචනවලට ක්‍රියාකාරී ස්වරූපයක් දෙනවා.”
ශන් හුලංනුගේ