සුබ ආරංචියක් යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) සිදු කිරීමට යන ප්‍රකාශය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරනු ලබන ජනතාව ඇන්දවීමක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"හෙට දෙන්න යන සුබ ආරංචිය මොකක්ද? ජනාධිපතිවරයා රටටම ඒ සුබ ආරංචිය කියනවා කියලා ලොකු ප්‍රචාරයක් දෙනවා. අපි හොයලා බැලුවා මේ මොකක්ද කියන්න යන්නේ කියලා. එහිදී ලංකාව බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා කියලා පණිවිඩය දෙන්න යනවා කියලා තමයි කියන්නේ.
අපිට ලොකු ප්‍රශ්නයක් මතු වුණා කොහොමද එහෙම ජනාධිපතිවරයා කියන්නෙ කියලා.ඇත්තටම ලංකාව මුහුණ දෙන මූල්‍ය අර්බුදය, ආර්ථික අර්බුදය, බංකොලොත්භාවය යන සියල්ල එකට ගමන් කරන දේවල්. අපිට අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කාවද මේ රවට්ටන්න හදන්නේ?
ආණ්ඩුව ලෑස්ති වෙන්නේ ජනතාව ගොනාට අන්දන්න. සුබ ආරංචිය කියලා දීලා රට මුදා ගත්තා, නිදහස් කළා කියලා ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් විශාල ලෙස ජනතාව ඇන්දවීමට කරන කතාවක් ලෙස අපි දකිනවා. මේක ඉතාමත් බරපතළයි. රැවටීම හරහා රට ඉස්සරහට යන්නේ නෑ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෙට කරන්න යන සුබ ආරංචිය කිසිසේත් රටටවත්, ජනතාවටවත් සුබ ආරංචියක් නෙවෙයි. මේක රැවටීමක්, වංචාවක්, බොරුවක්. මොකද හේතුව මේ තියෙන අර්බුදකාරී තත්ත්වය තවමත් සමනයවෙලා නෑ. එවන් අවස්ථාවක මේ වගේ බොරුවක් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතාව තවත් ඇන්දවීමක් කරන්න පුළුවන්ද කියලා බලන්න."