හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීම වැරදි ක්‍රියාවක් බවත් ප්‍රභූ ආරක්ෂාවට යොදවා සිටි හමුදාව ඉවත් කළ පොලීසිය පමණක් යෙදවීම වැරදි දෙයක් බවත් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
"අපේ පක්ෂයෙන් හිටපු ජනපතිවරයෙකු නෑ. ඒ නිසා හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීමේ ජනප්‍රිය තීන්දුවට අපටත් හුරේ දාන්න පුළුවන්. නමුත් හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ලබා දීමේ තාර්කික බව තේරුම් නොගත්තොත් අපට මහ විනාශයක් වෙන්න පුළුවන්. අද ආරක්ෂාව ලබන මහින්ද සහ ගෝඨාභය කියන ජනාධිපතිවරුන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලා.
ඒ නිසා දෙමළ බෙදුම්වාදින්ගේ වෛරයට එතුමන්ලා අද බඳුන් වෙලා ඉන්නේ. හිටපු ජනපති සිරිසේනත් වැඩබලන ආරක්ෂක ඇමති විධියට කටයුතු කලා විතරක් නොවේ පස් වතාවක් කොටි ත්‍රස්තවාදින් මරා දාන්න වෑයම් කරපු නායකයෙක්. තනතුරෙන් විශ්‍රාම ගත්තාට පස්සේ ආරක්ෂාව නැති වෙනවා නම් තනතුරේ ඉන්න කාලයේ අවදානම් තීන්දු ගන්න පැකිලෙනවා.
ත්‍රස්තවාදය, පාතාලය වගේම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන්න නායකයින් එඩිතර තීන්දු ගන්නේ තමන්ට ජීවිත කාලයටම ආරක්ෂාව ලැබෙනවා කියන සහතිකය ලැබුනොත් විතරයි. නැතිනම් අපිව කේන්ති ගස්සන්න එපා. ඔය තනතුරේ ඉන්නේ අවුරුදු පහයි. වැඩිම වුණොත් දහයයි. ඊට පස්සේ අපි පලි ගන්නවා කියලා ත්රස්තවාදින්ම පාතාලයන්ම ජනපතිවරුන්ට සිහිපත් කරාවි.
දැන් ඉතින් වයසයිනෙ. නහින දෙහින කාලයේ ඒ අයව මරන්න කාටද ඕනි කියලා හිතන්න නරකයි. බ්‍රිතාන්‍යයේ ආරක්ෂක හමුදා ප්‍රධානි තනතුරේ සිටි මවුන්ට්බැට්න් සාමිවරයාව අයිආර්ඒ ත්‍රස්තවාදින් මරා දැම්මේ අවුරුදු 79 දී.
ඒ වගේම ජනපති ආරක්ෂාවට හමුදාව ඉවත් කරලා පොලිසිය යෙදවීමට තීරණය කිරීමත් මෝඩ තීන්දුවක්. මේ දිනවල රටේ පවතින සාමකාමි තත්වය හමුවේ හමුදාවට සුවිශේෂ රාජකාරියක් නෑ. නමුත් වැටුප් සහ දීමනා සුපුරුදු විධියට ගෙවනවා. ඒ නිසා හමුදාව ප්‍රභූ ආරක්ෂාවෙන් ඉවත් කළා කියලා රටට වන ඉතිරියක් නෑ. නමුත් පොලිසිය ප්‍රභූ ආරක්ෂාවෙන් මුදවා ගත්තොත් ඒ අය පැමිණිලි විභාගයට, පාතාල මර්දනයට, මත් ජාවාරම මර්දනයට උසාවි කටයුතු වලට මාර්ග තදබදය අවම කිරීමට යොදවන්න පුළුවන්. ඒවා පොලිස් රාජකාරි. ඒ නිසා ඇත්තෙන්ම කළ යුත්තේ හමුදාවට ප්‍රභූ ආරක්ෂාව භාර දීලා පොලිසිය ඒකෙන් මුදවා ගැනීමයි. එතකොට පොලිසියේ දැන් පවතින ශ්‍රම හිඟයටත් ඒක විසඳුමක් වේවි.
අනුර කුමාර ජනාධිපතිතුමා වාහනයේ දොර තමන්ම ඇරගෙන බහින එක ගැන සමාජ මාධ්‍ය පුරා උදාන වැකි ලියලා තිබෙනවා අපි දැක්කා. ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් නැති අපේ තරුණ දුවලා පුතාලා ඒක අගය කරන එක අපට තේරුම් ගන්න පුළුවන්. ඒකට ඉඩ දීලා නිහඬව බලා සිටි ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා ඒකෙන් පෙන්නුම් කලේ තමන් ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ මෙලෝ හසරක් දන්නේ නෑ කියන එකයි. හරි නම් ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම වැඩ තහනමට ලක් කළ යුතුයි.
ලෝකය පුරා ප්‍රභූ ආරක්ෂකයින් තමන්ගේ ප්රභූවරයාට වාහනයෙන් බහින්න දොර ඇරලා දෙන්නේ ප්‍රභූගේ ලොකුකමට දොර ඇර ගන්නේ නැති නිසා නොවේ. ප්‍රභූ වුණාට පස්සේ අත් හිරි වැටෙන නිසාත් නොවේ. ආරක්ෂක හේතුවක් නිසා. උත්සවයකට ප්රභූවරයෙක් එන බව වගේම එන වෙලාවත් ප්‍රසිද්ධ කාරණයක්. ඒ නිසා ඔහු ඝාතනය කරන්න අවශ්‍ය අයට වාහනයෙන් බහින විවෘත ස්ථානය ප්‍රහාරයට හොඳම අවස්ථාවක්.
මේක දන්න නිසා තමයි වාහනය නැවැත්තුවාම ආරක්ෂක නිලධාරියා මුලින්ම බැහැලා අවට නිරීක්ෂණය කරලා තර්ජනයක් නෑ කියලා තහවුරු කරගත්තාට පස්සේ දොර අරින තුරු වාහනය තුලම රැඳී ඉන්නේ. ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ ලෝකය පුරා භාවිතා කරන මේ සරල උපක්‍රමය දන්නේ නෑ කියන්නේ ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා වහාම තනතුරෙන් නෙරපිය යුතුයි. මොකද අනුර කුමාර කියන්නේ අද මාලිමාවේ නායකයා විතරක් නොවේ. අපෙත් රටෙත් නායකයා. රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීම ප්‍රභූ ආරක්ෂාවේ හෝඩියවත් දන්නා කෙනෙකුට පැවරිය යුතුයි."