මෙරට ජනතාව සියවස් ගණනක් අපේක්ෂා කළ දේශපාලන පරිවර්තනය 21වැනිදා සිදුවන බවත්, එය මෙරට දේශපාලනයේ යුග පෙරළියක් බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශ්‍රී ලංකාව පොහොසත් රටක් කිරීමේ වැඩපිළිවෙල ජාතික ජනබලවේගය සතු බව ද ඔහු කීවේය.
සිංහල දෙමළ ජනයා බෙදී වෙන් වී කරන ලද දේශපාලනය එකට එකතු කිරීමට ජාතික ජනබලවේගය සමත් වී ඇති බවත්, ජාතික සමගිය ඇති කිරීමේ ඉදිරි පියවර 21වැනිදායින් පසු ආරම්භ කරන බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ඊයේ (18දා) කළුතර, ගම්පහ සහ නුගේගොඩ දී පැවති මැතිවරණ ප්‍රචාරණ අවසන් ජන රැලි අමතමිනි.
ආසියානු කලාපයේ වැඩිම විදුලි බිල , ඉදිරියේ දී ආසියාවේ අඩුම විදුලි බිල බවට පත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. නිරෝගි සම්පන්න ජීවිතයක් පුරවැසියාට ලබාදීම රජයක වගකීම බවත්, ඒ සදහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය පහසුකම් සහිත, විශ්වාසනීය එකක් බවට පත් කරන බවද දිසානායක මහතා සඳහන් කළේය.
“21වෙනිදා සිදුවන්නේ හුදු ආණ්ඩු මාරුවක් නෙමෙයි. හුදු නායකයෙක් වෙනුවට තවත් නායකයෙක් ගෙන ඒමක් නෙමෙයි. මේ හැබෑවෙන්න යන්නේ සියවස් ගණනක් අප දුටු සිහිනය. මෙම දේශපාලන සංස්කෘතිය පරිවර්තනය කිරීමේ යුග පෙරළිය තමයි මේ 21වැනිදා සිදුවන්නේ.
දේශීය නිෂ්පාදනයට පණ දිය හැකි සියලු තැන් සොයාගෙන මේ රටේ ආර්ථිකයට නැවත පණ දෙනවා. ගොවි මහතා උදැල්ල අරගෙන හේනට කුඹුරට කෘෂිකාර්මික කටයුතු සඳහා යන්න, ගුරුවරයා අලුත් වශයෙන් දරුවන්ට උගන්වන්න, ධීවර ජනතාව බෝට්ටු අරගෙන මුහුදට යන්න, ව්‍යවසායකයන් අලුත් ව්‍යවසායන් ගොඩනගන්න ,
ආරක්ෂක අංශ මේ රටේ නීතියේ ආධිපත්‍ය, ආරක්ෂාව තහවුරු කරන්න. රටේ සියලු අංශවලට, තමන්ගේ හැකියාවන් දක්ෂතාවන් පෙන්වන්න. මේ ආර්ථිකයට උරාගත හැකි රටක් අපි හදන්නම්. මේ රට තනිකරම අනිත් පැත්ත හරවන්න ඕන. මේ රට පොහොසත් රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල අප සතුව තියෙනවා.”