ජනාධිපතිවරණය ආසන්නයේ රජයේ මුද්‍රණාලය යොදා ගනිමින් ජනපතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. මැතිවරණය ආසන්නයේ දී මුද්‍රණාලය වෙනත් තැනකට ගෙන යෑමට යෝජනා කරන්නෙත්, සේවකයින්ගේ දිරි දීමනා කපා දැමීමට යෝජනා කරන්නෙත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මුද්‍රණාලයේ වැඩවර්ජනයක් ඇති කර, ඒ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණයත් කල් දැමීමට යැයි සාධාරණ සැකයක් මතුවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (08දා) පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවට එක් වෙමිනි.පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"පසුගිය පළාත්පාලන මැතිවරණය කල් දැම්මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න රජයේ මුද්‍රණාලය මුදල් ඉල්ලීමක් හරහා. ඉතිහාසය පුරාම මැතිවරණවල මුද්‍රණ වියදම මැතිවරණ කොමිසම විසින් මුද්‍රණාලයට ගෙව්වේ මැතිවරණය පැවැත්වීමෙන් පස්සේ. නමුත් පසුගිය පුංචි ඡන්දයේ දී මුද්‍රණාලය මැතිවරණ කොමිසමට කිව්වා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න නම් මුදල් කලින් ගෙවන්න කියලා. මැතිවරණ කොමිසම ඒ මුදල භාණ්ඩාගාරයෙන් ඉල්ලුවාම භාණ්ඩාගාරය මුදල් නෑ කිව්වා. ඒ නිසා පුංචි ඡන්දය අතුරුදහන් වුණා.
ජනාධිපතිවරණය අතුරුදහන් කරන්නත් ආණ්ඩුව මුද්‍රණාලය භාවිතා කිරීමේ කුමන්ත්‍රණයක් හෙලි කර ගන්න අපට පුළුවන් වුණා. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දිරි දීමනා ක්‍රමවේදයක් සකස් කරන්න ඇමති මණ්ඩලය විසින් කමිටුවක් පත් කලා. ඒ කමිටු වාර්තාව පසුගිය දා අගමැතිතුමා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.
ඒ වාර්තාව නිසා අද මුද්‍රණාලයේ නිලධාරින් කුපිත වෙලා ඉන්නේ. එක පැත්තකින් අළුත් දිරි දීමනා ක්‍රමයෙන් තිබෙන දිරි දීමනාත් කපා දාලා. ඒ වගේම බොරැල්ලේ තිබෙන මුද්‍රණාලය පිහිටි ඉඩම විකුණලා මුද්‍රණාලය ඈත පලාතකට ගෙනි යන්නත් යෝජනා කරලා. මුද්‍රණාලය සැපයුම් ලබා දෙන අමාත්‍යාංශ ආසන්නයේ තිබිය යුතු ද නැතිනම් ඈත පලාතකට ගෙනි යන්න ඕනි ද කියන එක සංවාදය කරලා තීරණය කරන්න ඕනි මාතෘකාවක්.
ඡන්ද කටේ මුද්‍රණාලය වෙනත් තැනකට ගෙනි යන්න යෝජනා කරන්නෙත් සේවකයින්ගේ දිරි දීමනා කපා දාන්න යෝජනා කරන්නෙත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කලාට පස්සේ මුද්‍රණාලයේ වැඩවර්ජනයක් ඇති කරලා ඒක මුවාවෙන් පුංචි ඡන්දය වගේම ජනාධිපතිවරණයත් අතුරුදහන් කරන්න ද කියන සාධාරණ සැකය අපට ඇති වෙලා තිබෙනවා."