බස් රථ සේවකයන් ඡන්දය සලකුණු කිරීම සඳහා සැලකිය යුතු පිරිසක් 21 වැනි දින නිවාඩු ලබා ගැනීමට නියමිතව තිබෙන බවත්, මේ නිසා එදින බස් රථ ගමනා ගමනයට බාධා සිදුවිය හැකි බවත් ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
ගම්බිම් බලා යන ජනතාවට සේවා සැපයීම සඳහා 20 වැනි දින මධ්‍යම රාත්‍රී දක්වා අඛණ්ඩව සේවා සැපයීම සිදුකරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.
බස් රථ සේවකයන් සැලකීමේදී සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, මේ නිසා සේවකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට යාමත් සමග 21 වැනි දින බස් රථ ධාවනය සියයට 15-20 අතර ප්‍රමාණයකට සීමා විය හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
බස් රථ සේවා අත්‍යවශ්‍ය සේවාවක් නිසා බස් රථ සේවකයන්ට තැපැල් ඡන්ද අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට 2010 වසරේ සිට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
එහෙත් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන නිසා ප්‍රවාහන සේවයේ නිරතවන සේවකයන්ට ඡන්ද විමසීම පැවැත්වෙන දින තම ගම්බිම්වලට ගොස් ඡන්දය භාවිත කිරීමට සිදුව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.