ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වසර දෙකක සහන කාලයක් ලබාදීමට චීනය එකඟ වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීනය මෙම තීරණය ගෙන ඇතැයිද ඒම පුවත්පත වාර්තා කරයි.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ලබාගැනීමට අදාළව කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබෙයි.
ශ්‍රී ලංකාවට වැඩි ණය ප්‍රමාණයක් ලබාදී ඇති චීන එක්සිම් බැංකුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාව විසින් චීනයට ගෙවිය යුතු ණය වෙනුවෙන් සහන කාලයක් ලබාදීමට කටයුතු කරන බවයි.
මේ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සඳහා චීනයේ සහාය ද ලබා දෙන බවත් IMF වැඩසටහනකට තුඩු දෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙස ඒම අරමුදලෙන් චීනය ඉල්ලා සිටින බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
තවත් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ පැරිස් ක්ලබ් රැස්වීමද පැවැත්වීමට නියමිතය. මේ අතර ඉන්දියාවද පසුගිය දිනයකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතික නිකුත් කරමින් පැවැසවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බවයි.