දේශීය ඉඟුරු අස්වැන්න නෙලන අවස්ථාවේදී චීනයෙන් ඉඟුරුගෙන්වීමට රජය ලබාදුන් අවසරයට විරෝධය පාමින් ඉඟුරු අතු වලින් සැරසුණු ගොවීහු පිරිසක් 16 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
පසුගිය කාලයේ ඉඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණු වකවානුවක දේශීය ඉඟුරු ගොවීන් විශාල පිරිවැයක් දරමින් ඉඟුරු වගාකළ බවත් ඉඟුරු අස්වැන්න නෙලීම ආරම්භ වෙද්දී චීනයෙන් ඉඟුරු ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අනුමැතිය වහාම හකුලා ගන්නා ලෙස මෙම ඉඟුරු ගොවීහු රජයට බල කරමින් මෙසේ උද්ඝෝෂණයක නිරත වූහ.
මේ දිනවලින් ඉඟුරු කිලෝවක තොග මිල රුපියල් හත්සියේ සිට 1800 දක්වා මිලක් පවතින බවත් පසුගිය මාසයේ ඉඟුරු කිලෝවක් රුපියල් දෙදහසක් දෙදහස් පන්සීයත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව ගොවීන් කියති.
ඉඟුරු ලංකාවට ගෙන්වීම සඳහා තහනම් කර තිබුණු අවස්ථාවක අර්තාපල් අල ලොකු ලූනු සහ විවිධ භාණ්ඩ වර්ග ආනයනය කරන කන්ටේනර් රථවල ඉතා සූක්ෂම ලෙස සඟවා මෙවන විටත් විදේශීය රටවල ඉඟුරු කිලෝ ලක්ෂ ගණනාවක් වෙළඳපලට ගෙන්වා තිබෙන බව ගොවීන් පවසති.
පසුගිය සතියේ හොර රහසේ විදේශීය අමු ඉඟුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අලෙවි කරද්දී ගොවීන් නගන ලද චෝදනා සහ පොලිසිය මැදිහත්ව එම විදේශීය ඉගුරු ඉවත් කිරීමට පියවර ගෙන තිබුණු බවද ඔවුන් පවසති.
එසේ හොර රහසේ ගෙන්වා තිබූ ඉඟුරු අලවි කර ගැනීම සඳහා ඉතා සූක්ෂම ලෙස ඉඟුරු ගෙන්වීම සඳහා අවසර ලබාදීමේ කූඨ උපක්‍රමයක් මෙම ක්‍රියාවලිය යට සිදුවන බව උද්ඝෝෂණයට එක් වූ අමු ඉඟුරු ගොවීන් පවසති.
කිසිදු ආකාරයකින් මෙරට අමු ඉඟුරු හිඟයක් නැති බවත් අක්කර දහස් ගණනක් වගාකොට වෙළඳපලට ලැබීමට තිබෙන අවස්ථාවේ සඟවාගෙන සිටින විදේශීය ඉගුරු චීනයෙන් ගෙන්වීම සඳහා අවසරය ලබා දුන්නේ කාගේ හෝ උවමනාවකටදැයි එම ගොවීන් කෘෂි අමාත්‍යවරයාගෙන් සහ වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින් මෙම විරෝධතාවය නිරත විය.
දේශීය ඉඟුරු වගා කර ගොවීන් ගස් පිටින් ගලවාන ගස් තම සිරුර මත බැඳගෙන උදළු කර මත තබාගෙන ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් ඉගුරු ගෙන් වීමට විරෝධය එල්ල කරමින් මෙසේ උද්ඝෝෂණයක නිරත වන්නට විය.
රජය මෙම තීරණය වහා ඉවත් නොකර ගන්නේ නම් මීට වඩා දැඩිව රටපුරා ඉඟුරු ගොවීන් ඒකරාශී කරගෙන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් ඉදිරි මැතිවරණයේදී ගොවීන් සියලු දෙනාගේ චන්ද ප්‍රකාශ කිරීම පවා නැවතා දැමීමට ඉඟුරු ගොවීන් නායකත්වය දෙන බවද ඔවුහු පැවසූහ.