චීනයෙන් මෙරටට ආනයනය කළ කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බවත්, මෙරටට සුදුසු ප්‍රමිතියෙන් උසස් පොහොර ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමග සාකච්ඡා කළ බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එසේම ලෝකයට නැනෝ තාක්ෂණික පොහොර සංකල්පය හඳුන්වා දුන් ශ්‍රී ලංකාව එම පොහොර නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබෙන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
දීර්ඝ කාලයක් තිස්සේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් පස, ජලය සහ වාතය දූෂණයට ලක් විය. නැනෝ තාක්ෂණික පොහොර භාවිතයෙන් මෙම තත්ත්වය වළක්වාගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට දේශීය නිෂ්පාදන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.
“නැනෝ තාක්ෂණික පොහොර භාවිතය සහ අස්වැන්න” තේමාව යටතේ අද (28) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අම්පාර, මඩකළපුව ඇතුළු උතුරු නැගෙනහිර ගොවීහු කාබනික පොහොර භාවිතා කරමින් මහ කන්නයේ වගාකිරීම් ආරම්භ කර තිබේ. නීරෝගීමත් පුරවැසියන් බිහි කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විවිධ කණ්ඩායම් උත්සාහ කළ ද ගොවීන්ගේ ගැටලුවලට ස්ථීර විසඳුම් රජය සතුව පවතී.
විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූල හා විෂය පිළිබඳ ප්‍රාමාණිකයන්ගේ උපදෙස් පරිදි රජය තීරණ ගන්නා බවත්, යම් හෙයකින් අස්වැන්න අඩු වුවහොත් අඩුවන අස්වැන්නට වන්දි ගෙවීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
දිලීර රෝග පාලනය කිරීමට අවශ්‍ය පලිබෝධ නාශක රජයේ පාලනය යටතේ ආනයනය කිරීමට ගොවීන්ගේ ඉල්ලීම මත රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් අතර ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීම විශේෂඥ නිර්දේශ මත පමණක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නැනෝ තාක්ෂණික පොහොර භාවිතයේ දී පොහොර අවභාවිතය අවම වන අතර ශාකයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නාස්තියකින් තොරව ශාකයට අවශෝෂනය කර ගැනීම සිදු වේ. එමගින් රසායනික පොහොර භාවිතයේ දී සිදුවන ජලය, පස සහ වාතය දුෂණයවීම වළක්වාගත හැකිය.
වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට දේශීය ගොවීහු සහ ව්‍යවසායකයෝ සීග්‍රයෙන් ප්රවේශවීමේ ප්‍රවණතාවක් පවතී. අතළොස්සක් දෙනා උද්ඝෝෂණවල නිරතවුවද දැනටමත් හෙක්ටයාර් 244,000කට අධික ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
විරෝධතාකරුවන් පවසන තොරතුරු මත පදනම්ව අනියත බියක් ඇති කර ගත යුතු නොවේ. කෘෂි ක්ෂේත්රයේ නියැලෙන පාර්ශ්ව රැසක් සහ විද්වතුන් එක්ව අධ්‍යයන සිදු කරමින් සිටී. එම අධ්‍යයනයන් මත පදනම්ව සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගොවීන් සමග සම්බන්ධීකරණයට අවශ්‍ය නිලධාරී කණ්ඩායම් යෙදවා සිටින බවත්, ගොවීන්ට ඇතිවන ගැටලු ඔවුන් මගින් නිරාකරණය කර ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තා ද සිල්වා මහතා පැවසීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_c2aed7c8d7.jpg)