ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් 10/19 දින රාත්‍රී පියවර ගෙන තිබේ .
මෙම සැක කටයුතු විදේශිකයන් දෙදෙනා පෙනුමෙන් චීන ජාතිකයන්ගේ හැඩහුරුකමින් යුතු වූ අතර ඔවුන් සන්තකයෙහි වූ චීන ජාතික ගමන් බලපත්‍ර තුළ ඔවුන් උපන් ස්ථානය ලෙස චීනයේ ගමක නමක් සදහන් වී ඇති අතර , මීට අමතරව කාම්බෝජ සහ තුර්කි ජාතික , සත්‍ය ගමන් බලපත්‍ර ද ( Genuine Passport ) ඔවුන් සතුව තිබී ඇත .
චීන රජයේ නීතිය අනුව එරට වැසියන්ට ද්විත්ව පුරවැසිභාවයන් තබා ගත නොහැකි වන අතර , එසේ වෙනත් රටක පුරවැසිභාවය ලබා ගතහොත් චීන රජයේ පුරවැසිභාවය අහෝසි වනු ඇත .
36 හැවිරිදි සහ 37 හැවිරිදි මොවුන් දෙදෙනා 10/19 දින රාත්‍රී 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා සේද මාවත
( Silk Route ) ඔස්සේ ආගමන කවුළුව වෙත පැමිණ තිබේ .
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ හේතුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් විමසන ලද අතර එහිදී ඒ සදහා ඔවුන් පිළිගත හැකි පිළිතුරක් දීමට අපොහොසත් වී තිබේ .
චීන ජාතික මේ වනවිට ශ්‍රී ලංකාව තුළත් , අනෙකුත් විදේශීය රටවලත් මහා පරිමාණයෙන් පරිගණක අපරාධ සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලි සදහා සම්බන්ධ වී සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින නිසා , ඒ පිළිබඳ සැළකිලිමත් වෙමින් මොවුන් දෙදෙනා ආපසු ඔවුන් පැමිණි ගමනාන්තය වෙත පිටුවහල් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
මොවුන් දෙදෙනා මෙසේ පිටුවහල් කිරීමට පියවර ගැනීමත් සමග කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නිර්නාමික , බලපෑම් සහිත දුරකථන ඇමතුම් රාශියක් ද පැමිණ තිබේ .