ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බළකායේ ලාන්ස් කෝප්රල්වරයෙකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරික ව්‍යායාම උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් හිටපු ජනාධිපතිවරයා සමග සමීපව සිට ඇති මෙම සැකකරු, ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීමෙන් පසු යුද හමුදාවෙන් ඉවත් වී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
යහලතන්න, නෙල්ලිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු 35 හැවිරිදි දෙදරු පියෙකි. අදාළ සැකකරු හෙරොයින් මත්කුඩු ජාවාරම් කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු යුද හමුදාවෙන් ඉවත්වීමෙන් පසු දෙමටගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටින අතරතුර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ඇසුරට පත්වීමෙන් පසු ඔහු හෙරොයින් මත්කුඩු ජාවාරමට යොමු වී ඇති අතර, හෙරොයින් මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔහු සේවය කළ කොමාන්ඩෝ ඒකකයේ සිටි අතිදක්ෂ වෙඩික්කරුවන් දසදෙනා අතරද සිටින බව කියන මෙම සැකකරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ඇසුරේ සිටියදී කිසියම් අපරාධ සිදුකොට ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.