සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්‍රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම ඉඩම අපේක්ෂිත කාර්යය සදහා භාවිතා නොකර කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් මිලියන 400 කට අධික මුදල් වැයකර තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, 2001 වර්ෂයේදී සිය ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ අංක 508 දරණ ස්ථානයේ පර්චස් 73.7 ක ඉඩමක් රුපියල් මිලියන 53.5 ක මුදලකට මිළ දී ගෙන තිබුණ බවත් 2023 වසර අවසන් වන තෙක් එම ගොඩනැගිල්ල ඉදි නොකර කුලී ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් මිලියන 409.2 ක් ගෙවා තිබුණ බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.
2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්රකාශනයේ මේ බව සදහන් වේ.
අදාල ගොඩනැගිල්ල ඉදි කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම හා ටෙන්ඩර් ලේඛණ සකස් කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ සේවය ලබා ගැනීම වෙනුවෙන් 2012 අප්‍රේල් 18 දින කැබිනට් අනුමැතිය ලබා දි තිබුණත් සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය 2013 වර්ෂයේදී එම තීරණය අවලංගු කිරීමට කටයුතු කර තිබුණ බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
2014 වර්ෂයේදී සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය අදාල ගොඩනැගිල්ල ඉදි කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම හා ටෙන්ඩර් ලේඛණ සකස් කිරීම මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයට පවරා තිබුණ බවත් 2015 දී එයද අවංගු කර නැවත අදාල කාර්යය මොරටුව විශ්ව විද්‍යාලයට පවරා තිබුණ බවත් විගණන වාර්තාවේ සදහන් වේ.
2015 න් පසුව රටේ ඇති වූ ආර්ථික අවපාත තත්ත්වයන් හේතුවෙන් ගොඩනැගිල්ලේ ඉදි කිරීම් ප්‍රමාද වූ බව සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ සිය ප්‍රධාන කාර්යාලය රුපියල් මිලියන 400 කට අධික මුදලක් කුලී ගෙවමින් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ලබා දෙමින් සදහන් කර තිබේ.
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ 2022 වසරේ ලබා නොගත් වාර්ෂික හා වෛද්‍ය නිවාඩු වෙනුවෙන් එම සමාගමේ විධායක නිලධාරීන්ට 2023 වසරේ රුපියල් මිලියන 36.4 ක් ගෙවා තිබෙන බවත් මෙම ගෙවීම් වලට අදාල නිවාඩු ගණනය කිරීමේදී ඇගිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වාර්තා සලකා නොතිබූ බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.
විධායක නිලධාරීන් 2022 වර්ෂයේ ලබා නොගත් වාර්ෂික නිවාඩු වෙනුවෙන් රුපියල් මිලියන 8.2 ක් හා වෛද්‍ය නිවාඩු වෙනුවෙන් රුපියල් මිලියන 28.2 ක් ගෙවා තිබුණ බවද විගණන මහ ලේකම් කාර්යාලය සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.
තමිඳු මදුසර