දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදුව ප්‍රදේශය අතරමග දී නීතිවිරෝධී අන්දමින් බසයෙන් බැස යන අතරතුරදී අනතුරකට ලක් වී ගුවන් හමුදා කෝප්රල්වරයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අදාල බසයේ රියදුරු හා සහායක සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර නාගරීක හදීසී මරණ පරීක්ෂක ටී.එම් ලලිත් ද සිල්වා මහතා ඊයේ (09) තිහගොඩ පොලීසියට නියෝග කලේය.
අධිවේගී මාර්ගය හරහා නීතිවිරෝධී ලෙස පා ගමනින් ගොස් සාමාන්‍ය මාර්ගයට යාමට උත්සාහ කරන විට අඩි 20 ක පමණ බෑවුමකින් පහලට ඇද වැටී එසේ මරුමුවට පත්ව තිබුණේ නාරංඕවිට ජාලත්ගම පදිංචිව සිටි කාරියවසම් ජාලත්ගේ ශ්‍රී සජින් ප්‍රභාත් (39) නැමැති එක් දරු පියෙකි.
ඔහු නිවාඩු ලබා රන්සෑගොඩ මහ ගෙදර සිටින තම බිරිද හා දරුවා බැලීමට පැමිණ මිතුරන් පිරිසක් සමග කතරගම වන්දනාවේ ගොස් නැවත එන අතරතුරදී මෙම අනතුරට ලක්ව තිබුණි.
ඇල්පිටියේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කපුදුව දක්වා පැමිණි බසයට ද ඔහු කතරගම යාම සදහා අතරමගින් ගොඩ වී තිබුණේ ද නීති විරෝධී අන්දමින් වන බවත් නැවත එන විට එම බසයෙන් බැස ගෙදර යාමට උත්සාහ කර තිබුනේ ද ඒ ආකාරයට බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.
එම නිසා අධිවේගී මාර්ගයේ නීත්‍යානුකූල පිවිසුමකින් පිටතට නොගොස් නීති විරෝධී ආකාරයට බසය අතරමග නවතා මගියෙකු බස්සවා ඔහුගේ මරණය සිදු වීම සම්බන්ධයෙන් බසයේ රියදුරු හා සහායක සැක පිට අත්අඩංගුවට ගන්නා ලෙස හදීසී මරණ පරීක්ෂකවරයා දැනුම් දුන්නේය.
ඒ අනුව මිය ගිය කෝප්‍රල්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.ආර්.මුණසිංහ මහතා ඉදිරියේ දු පැවැත්වීමට නියමිතව තිබුණි.
ක්‍රිෂාන් ජීවක ජයරුක්