ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු , එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා ගුවන් තොටුපොළ පොලීසිය මගින් 03/12 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ස්වීඩනයේ සහ යාපනය , නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි , දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවය හිමි කන්දයියා තුරේසිංහම් නැමති 65 හැවිරිදි අයෙකි .
මොහු 03/12 දින අලුයම 12.45 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී , අධික ලෙස විස්කි මත්පැන් පානය කර තිබේ .
ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මගීන්ට කරදර වන ආකාරයට හැසිරීමට පටන් ගෙන ඇති අතර පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු වෙත ලිංගික අඩන්තේට්ටම් කිරිමට ද ඔහු තැත් කර තිබේ .
පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහු මැඩ පවත්වා තිබූ අතර , මෙම සිදුවීම පිළිබදව , ගුවන් නියමුවා දැනුවත් කිරිමට ද පියවර ගෙන තිබේ .
ඒ අනුව මේ පිළිබදව ඔහු කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරිමට ගුවන් නියමුවා කටයුතු කර තිබුණි.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ පසුව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් , ගුවන් තොටුපොළ පොලීසිය සමග පැමිණ , මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ගුවන් මගියා පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබූ අතර , එහිදී මොහු මත්පැන් පානය කර ඇති බවට කරුණු සනාථ වී තිබේ .
ඒ අනුව මොහු 03/12 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .