ගුරු විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට ඇති වී තිබෙන ගැටලුවලට ලබන මස 02වන දින වන විට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා මේ මස 22වැනි දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බවත් මෙම ක්රියාමාර්ගය ලබන මස 02වන දින දක්වා ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කර දින 03ක කාලයක් ගත වී තිබුණත් අදාළ ගැටලු විසඳීම පිළිබඳව වෘත්තීය සමිති සමග බලධාරීන් සාකච්ඡාවක්වත් පවත්වා නොමැති බවත් මෙවර ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් 02වන දිනෙන් පසු වැඩවර්ජන විරෝධතා ඇතුළු වෘත්තීය ක්රියාමාර්ග සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද පැවසීය.
අකුරට වැඩ කිරීම යටතේ පාසල් වේලාවෙන් පසුද, සතිඅන්තයේ දිනවල හා නිවාඩු දිනවලද විෂය පරිබාහිර කටයුතු සිදුනොකරන බවත් වට්ස්ඇප් සමූහ හරහා බලධාරීන් සමග රාජකාරි කටයුතු සිදුකිරීමේ කටයුතුවලින්ද ඉවත්ව සිටින බවද සඳහන් කළේය.
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම යටතේ තුනෙන් දෙකක කොටස ලබා දෙන ලෙසත් පාසල් උපකරණ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් වෙන් කර පාසල් නඩත්තු කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම සිදුනොකරන ලෙසත් ඉල්ලා මෙම ක්රියාමාර්ගය සිදුකරන බවද පැවසීය.