වැටුප් විෂමතාවය ඇතුළු ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ සන්ධානය අද (22දා) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීම් වෘත්තීව සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් එහිදී ඉගැන්වීම් කටයුතු පමණක් සිදු කරන අතර, විෂය බාහිර වැඩ කිසිවක් සිදු නොකරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
ඊයේ (21දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හැටියට අපි අපේ වැටුප් විෂමතා ඉවත් කිරීම, දෙමවුපියන්ගේ අධ්‍යාපන බර අඩු කිරීම, ගුරු විදුහල්පතිවරුන්ගේ ආයතනික ගැටලු විසඳීම යන කාරණා මුල්කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා තියෙනවා. අපි මේ අවුරුද්දේ පෙබරවාරි 20 සිට සියලුම ක්‍රියාමාර්ග ගත්තේ පස්වරු 02න් පස්සේ. අපි අසනීප නිවාඩු වාර්තා කළා පසුගිය 26,27 සහ 09වැනිදා. නමුත් අපිට තියෙන ප්රශ්නය තමයි තවමත් මේ ගැටලුවලට විසඳුම් ලබා දීලා නෑ.
දැන් මේ පවත්වපු සාකච්ඡාවලදී වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් නිශ්චිත පියවරක් තවමත් අනුගමනය කරලා නෑ. ඒ වගේම අපි කියන්න ඕනි කාරණාව තමයි ඔවුන් තවත් කමිටුවලට යනවා මිසක් විසඳුමක් ලබා දෙන්නේ නෑ. මේ තත්ත්වය තුළ ගුරු විදුහල්පති සන්ධානය හැටියට අපි තීරණය කරලා තියෙනවා 22වැනිදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගන්න. එහිදී අපි ගන්න ප්‍රධාන ක්‍රියාමාර්ග තමයි පාසලින් බැහැරව සියලුම අධ්‍යාපනික ප්‍රධානීන්ගේ කොට්ඨාස, කලාප, පළාත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පවත්වා ගෙන යන සියලුම වට්ස් ඇප් සමූහවලින් සියලුම විදුහල්පතිවරුන් ඉවත්වීම.
ඒ වගේම සියලුම විෂය අධ්යක්ෂවරුන් පවත්වාගෙන යනු ලබන සියලුම වට්ස් ඇප් සමූහවලින් සියලුම ගුරු භවතුන්, ගුරු උපදේශකවරුන් ඉවත් වීම. ඒ වගේම අධ්‍යාපන බලධාරීන් කොට්ඨාස, පළාත්, අධ්‍යපන අමාත්‍යාංශයට කැඳවන සියලුම ආකාරයේ රැස්වීම්වලට සහභාගී නොවීම.
ඒ වගේම දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් ඇති උත්සවවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටීම, එවැනි උත්සව සඳහා පාසල් සිසුන් සම්බන්ධ කිරීමෙන් ගුරු විදුහල්පතිවරුන් ඉවත් වීම. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව, පුහුණු වැඩසටහන් සඳහා සහභාගී නොවීම. ඒ වගේම භාණ්ඩ සමීක්ෂණය, සංගණන කටයුතු, ගුණාත්මක සංවර්ධන දර්ශක පවත්වාගෙන යන කටයුතු සියල්ලෙන් ඉවත් වීම. ඒ වගේම පාසලට බාහිර සියලු ආයතනවලින් ඉල්ලා සිටින වාර්තා කිරීම්, සංඛ්‍යාලේඛන සියල්ල යන කටයුතු වලින් බැහැරව සිටීම. ඒ අනුව හෙට සිට සති දෙකක් සම්පූර්ණයෙන්ම අපි කරන්නේ ඉගැන්වීම් කටයුතු පමණයි. වෙන විෂය බාහිර කිසිදු දෙයක් කරන්නේ නෑ. අපි අධ්‍යාපන බලධාරීන්ට කියන්නේ ප්රශ්නය විසඳන්න කියලා. “