ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද(02දා) අවසන් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මේ අනුව දෙවැනි ක්‍රියා මාර්ගය ලබන 05 වැනි සදුදා සිට ආරම්භ කරන බවත්, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සති දෙකක් පුරා සිදුකළ බවත් එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
වැටුප් විෂමතාව විසඳීම යටතේ ලැබිය යුතු තුනෙන් දෙකක කොටස ලබා දෙන ලෙස හා පාසල් උපකරණ මිල අඩු කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා හා පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් ලබා දෙන ලෙස ඉල්ලා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සිදුකළ බවද හෙතෙම පැවසීය.එහෙත් අදාළ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන නිසා දෙවැනි ක්‍රියා මාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අනුව කලාප කාර්යාල පළාත් කාර්යාල හා රේඛීය අමාත්‍යාංශයට අයත් නිලධාරීන් පාසල්වලට පැමිණ සවස 1.30න් පසු පවත්වන රැස්වීම වර්ජනය කිරීමට කටයුතු කරන බවත්, පාසලෙන් බැහැරව සවස 1.30න් පසු අධ්‍යාපන ආයතන විසින් පවත්වන රැස් වීම්වලදී ප්‍රවාහන වියදම් ලබා නොදෙන රැස් වීම වර්ජනය කිරිමටත් කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.