ගිනිගත්හේන නගරයේ වෙළෙඳ සැල් 10 ක් අද (19දා) අලුයම නායයාමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්වී ඇත. මෙම නායයෑමෙන් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.
කඳුකරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙසේ ගිනිගත්හේන නගරයේ වෙළෙඳ සැල් මහවැලි ගඟ දෙසට නාය ගොස් ඇති අතර, එම වෙළෙඳ සැල්වල පැවැති භාණ්ඩ හා අනෙකුත් උපකරණද විනාශයට පත්ව තිබේ.
නායයාමට ලක් වු වෙළෙඳ සැල් අතර සිල්ලර කඩ කිහිපයක්, එළවළු කඩ කිහිපයක්, ආපනශාලා දෙකක්, බාබර් සාප්පුවක්, විසිතුරු භාණ්ඩ කඩයක් පැවැති බව පොලීසිය කියයි.
ගිනිගත්හේන- මහනුවර මාර්ගයේ කොටසක්ද මෙකී වෙළෙඳ සැල් සමග නායයාමට හසුව ඇති අතර, එම මාර්ග කොටස මේ වනවිට සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.
මෙම අනතුරින් අතුරුදහන්ව සිටින පුද්ගලයා සොයා ගැනීමට ගිනිගත්හේන පොලීසිය හා යුධ හමුදාව එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් අද (19දා) උදෑසන සිට ආරම්භ කොට තිබිණි.
ශාන් හුලංනුගේ



