ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ගාලු මුවදර පිටිය තුල යාචකයින් පිරිස වැඩි වී ඇති බවත්, යාචකයින් 150ක් පමණ පිරිසක් සිගමන් යදිමින් ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවත් වාර්තා වී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
මෙම යාචකයින්ගෙන් සිදු වන හිරිහැරය පිළිබඳව නිරතුරුව වරාය අමාත්‍යංශය වෙත වාර්තා ලැබී ඇති බවත් මෙම ප්‍රශ්නයට පිළියමක් ලෙස මෙම යාචකයින් හම්බන්තොට රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථාන ගත කිරීමට තීරණය කර ඇති බවත් අමාත්යාංඔට පවසයි.
ඒ සඳහා වරාය අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.
මෙම යාචකයින් රිදියගම මධ්‍යස්ථානය තුල ස්ථාන ගත කිරිමේදී ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එයට අනුබද්ධිත ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී.
මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම පිලිබඳව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් අද ( 26දා ) දින පෙරවරුවේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවති අතර මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත්. බර්නාඩ් යන මහත්වරුන් ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන්ද , වරාය අධිකාරියට අනුබද්ධිත නිළධාරීන් පිරිසක්ද , පොලිස් දෙපාර්තමේන්තුවේ නිළදාරීන් පිරිසක්ද සහභාගි විය.