ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (28) ගාල්ලේ දී පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද (28) ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 11ක ක්‍රියාත්මක කරන “කඳුකර දශකය” බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිළධාරීන් දැනුම්වත් කිරීම සඳහා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
එහි දී අමාත්‍යවරයා කියා සිටියේ 2024 වර්ෂයේ සිට 2033 වර්ෂය දක්වා ක්‍රියාත්මක කරනු ලබන මෙම දස අවුරුදු වැඩසටහන යටතේ එම දිස්ත්‍රික්ක 11 සඳහා ම රුපියල් මිලියන 10,000ක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බවයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ, තවලම සහ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 හි ග්‍රාම නිලධාරී වසම් 157ක් මේ වැඩසටහන සඳහා තෝරාගෙන තිබේ.
අමාත්‍යවරයා කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයට අමතරව මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, කළුතර, බදුල්ල, කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවල ද “කඳුකර දශකය” වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට