ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විත්තිකරුවන් රුපියල් කෝටිය බැගින් වටිනා ඇපකරුවන්ගේ බැඳුම්කර මත විත්තිකරුවන් මුදාහැරීමටද අද (10දා) නියම කළේය.
අධිකරණයෙන් නිකුත් කළ සිතාසිවලට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට එලෙස ඇප නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළකාලමින් තහනමක්ද පැනවීය.හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව චෝදනා භාරදීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද්දේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න මහත්වරුන්ය.
2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි එකසිය 1843 267 595/- ක අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව කේ.ජී.ඩී. ධර්මසේන ධීරසිංහ,වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ. කරුණාරත්න නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීය.විත්තිකරුවන්ට එරෙහිව මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම මීට පෙර අවස්ථාවකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර, විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි නීතිඥවරුන් වන චමින්ද අතුකෝරල සහ හරිගුප්තා රෝහණධීර යන මහත්වරු, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා විත්තිරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රයට අත්සන් කර ඇත්තේ ඔහු එම තනතුරට පත්වීමට දින 11කට පෙර හෙයින් විත්තිතරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති අධි චෝදනා පත්‍රයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් මතු කළහ.
අල්ලස් කොමිසම විත්තිතරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ නෛතික වලංගුතාවක් නොමැති බවත්, එම අධි චෝදනා පත්‍රය බලශුන්‍ය බවත් අවධාරණය කළ නීතිඥවරු මෙම තත්වය යටතේ තම සේවාදායකයන්ට අධිචෝදනා පත්‍ර බාර නොදී සියලු චෝදනාවලින් ඔවුන් නිදහස් කරන්නැයි ඉල්ලීම් කළහ.
විත්තියේ නීතිඥවරුන් ඒ අවස්ථාවේදී මතු කළ මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාර නොදීම සියලු චෝදනාවලින් පසුගිය මැයි 31 වැනිදා ඔවුන් සියලු දෙනා නිදහස් කළේය.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් පසුගිය අගෝස්තු 21 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව එම චෝදනාව යටතේම යළිත් වරක් නඩු පවරන ලද අතර ඒ අනුව අධිකරණයෙන් නිකුත් කළ සිතාසිවලට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් තම සේවාදායකයන් මුල් අවස්ථාවේ සිටම විමර්ශන කටයුතුවලට සහාය දී ඇති හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන නඩු විභාගය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි පැවසුහ.
එහෙයින් තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයිද තම සේවාදායකයන්ට එරෙහි අධි චෝදනා පත්රයන්ට අත්සන කළ අල්ලස් හෝ කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී ඇති හෙයින් තම සේවාදායකයන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍ර සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරි නඩු දිනයේදී ගොනු කිරීමට පියවර ගන්නා බව නීතිඥවරු වැඩිදුරටත් දැනුම් දුන්හ.
ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවන දෙසැම්බර් 06 වැනිදා විත්තියේ මූලික විරෝධතා ඉදරිපත් කිරීමට නියම කළේය.