ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 2,254 කට රුපියල් මිලියන 2528.87 ක මුදලක් වෙන් කෙරේ.
එම ව්‍යාපෘති ජුලි මස 31 වැනිදාට පෙර අවසන් කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී උපදෙස් දෙයි.
ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට පසුගිය 30 වැනිදා සහභාගී වෙමිණි.
2024 වසරේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි. ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන්ව ඇත්තේ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ව්‍යාපෘති 890 කට රුපියල් මිලියන 594.8ක්, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 119කට රුපියල් මිලියන 127.5ක්, සෞභාග්‍යා නිෂ්පාදන වැඩසටහන යටතේ ව්‍යාපෘති 3කට රුපියල් මිලියන 6.38ක්, සෞභාග්‍යා වැඩසටහන යටතේ ව්‍යාපෘති 2කට රුපියල් මිලියන 0.11ක්, විශේෂ ව්‍යාපෘති 5කට රුපියල් මිලියන 17.58ක්, බස්නාහිර පළාත් සභා සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘති 1173 කට රුපියල් මිලියන 989.5ක් වශයෙනි.
යුක්තිය මෙහෙයුම යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඉතාම ප්රශස්ත මට්ටමක පවතින බව මෙහිදී පොලීසිය හා ආරක්ෂක අංශ සඳහන් කළේය. එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා ලෙසයි.
සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති යෝජනා ලැබී ඇති නමුත් දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මිලියන 17.7කට ව්‍යාපෘති යෝජනා 17ක් මේ වනවිටත් ලැබී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකවරිය මෙහිදී කියා සිටියාය.
සංවර්ධන යෝජනා ලැබී නොමැති නම් එය ලබා දීමට සතියක කාලයක් ලබා දෙන ලෙසත්, සතියක් ඇතුලත එම සංවර්ධන යෝජනා සඳහා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය ගෙන නොඑවන්නේ නම් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය හිමි වූවා සේ සළකා ව්‍යාපෘති සිදු කරන ලෙස ඇමතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මග දෙපස ඇති අනාරක්ෂිත ගස් ඉවත් කිරීමට මීට මාස කිහිපයක පෙර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ගත් තීරණය මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ දැඩි අප්‍රසාදයට ලක්විය.
එහිදී ඇමතිවරයා කියා සිටියේ ගස් ඉවත් නොකිරීම නිසා එයින් යම් දේපල හෝ ජීවිත හානියක් සිදුවුවහොත් එහි වගකීම ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා භාර ගත යුතු බවයි.
අන්තරාදායක ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැව සංස්ථාව දැනුවත් කර සතියක් ඇතුළත එයට පිළිතුරක් නොලැබෙන්නේ නම් අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා අන්තරාදායක ගස් වෙන්දේසී කර එහි ආදායම රජයට ලබා දිය යුතු යැයිද මෙහිදී තීරණය කෙරිණ. එය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරින්ට මෙහිදී අමාත්‍යවරයා ස්තූතිය පුද කර සිටියේය.
මෙරටට පැමිණෙන ආයෝජකයින්ට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවෙන් උපකාරයක් අවශ්‍ය නම් ඒ උපකාරය කර දෙන ලෙසත් සම්බන්ධිකරණ කමිටුවෙන් ඔවුන් පාලනය නොකරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට දැනුම් දුන්නේය. ඇමතිවරයා කියා සිටියේ ආයෝජකයින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට පැමිණ රස්තියාදු නොවිය යුතු බවයි.