ගංවතුර නැරඹීමට ගිය බෝට්ටුවක් ඊයේ (03දා) සවස 4.30ට පමණ බුලත්සිංහල දී අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 19 දෙනෙකුගේ ජීවිත බේරි ඇතැයි බුලත්සිංහල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නමැති තරුණයාය. ඔහු ඊයේ(03දා) සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර නැරඹීමට බෝට්ටුවක ගමන් කර තිබේ.කණ්ඩායම ගමන් කළ බෝට්ටුව විපතට පත් තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි තිබේ.බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැත.
ගංවතුරට වැටුණු තරුණයා බෝට්ටුවේ සිටි පිරිස විසින්ම මුදවාගෙන ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.මියගිය තරුණයාගේ සිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය බුලත්සිංහල හදිසි මරණ පරීක්ෂක චිරාත් භාරත මහතා විසින් සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර ගංවතුර මධ්‍යයේ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ ඒකකයට යොමු කර ඇතැයි බුලත්සිංහල පොලීසිය පවසයි.බුලත්සිංහල වැඩ බලන පොලිස් ස්ථානාධිපති කේ.කේ.එම් ගුණසේකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් ගුණරත්න මහතා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
බුලත්සිංහල- සුමති කුඩලිගම