රුපියල් කෝටි 20 හෙවත් රුපියල් මිලියන 200 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/21 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි සහකාර ගණකාධිකාරීවරියකි .
ඇය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් ආරම්භ කර , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබුණි. ඉන්පසුව ඇය එතැන් සිට 05/21 දින පස්වරු 04.30 කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු , කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861 ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 ක් ද සගවා ගෙන රැගෙන විත් තිබුණි .
ඇයට සිය යෙහෙළියක් මගින් මෙම ගුවන් ගමන සම්බධීකරණය කර දී තිබූ අතර ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන විත් භාර දීම සදහා ඇමෙරිකානු ඩොලර් 1,000 ක මුදලක් ද , ඊට අමතරව මෙම ගුවන් ගමන් සදහා ප්‍රවේශ පත්‍ර සහ දින 05 ක් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් වල නැවතීම සදහා අවශ්‍ය පහසුකම් ද සපයා දීමට මෙම මත්ද්‍රව්‍ය ජාලා හිමිකරුවන් පොරොන්දු වී ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබුණි .
එසේම මෙම කාන්තාව මීට පෙර මැලේසියාව සහ ඉන්දියාව වෙත ද මේ ආකාරයට කුළු බඩු අඩංගු පාර්සල් අතර කොකේන් මත්ද්‍රව්‍ය සගවා ගෙන රැගෙන ගොස් ඇති බව රේගු නිලධාරීන් හමුවේ ඇය අනාවරණය කර තිබේ .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .