රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී කළ ප්‍රකාශයකින් යම් අපහාසයක් හෝ අගතියක් වූවා නම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය කොන්දේසි විරහිතව සමාව අයැදීම හේතුවෙන් ඇයට එරෙහිව පවරා තිබු වන්දි නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (06දා) සමථයකට පත් කළේය.
රූපවාහිනි සාකච්ඡාවේදී කළ ප්‍රකාශය වැරදි බව තේරුම් ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැදින බවත් කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කිරීම නිසා රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා පවරා තිබු නඩුව සමථයකට පත් කළ දිසා විනිසුරුවරයා රුපියල් 10,000/-ක මුදලක් ලංකා පිළිකා රෝහලේ අරමුදලට පරිත්‍යාග කිරීමටද අවසර දුන්නේය.
2021 සැප්තැම්බර් මස 07 දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකදී කළ ප්‍රකාශයකින් තමන්ට අගතියක් වූ බැවින්, ඊට වන්දි වශයෙන් රුපියල් බිලියන 02ක් අයකර දෙන්නැයි ඉල්ලමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.
නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර කෝකිලා ගුණවර්ධන මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් සමාව අයැදීමේ ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරමින් අදාළ රූපවාහිනි සාකච්ඡාවේදී කළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවත්, රුපියල් 10,000/-ක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් සඳහන් කළාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව සමථයකට පත් කළ විනිසුරුවරයා සමථය ප්‍රකාරව කටයුතු කරන ලෙස නියම කළේය.