කොළඹ වරාය නගරයේ මේ වන විට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කර සිටින චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනි (ලංකා) ලිමිටඩ් ආයතනය සඳහා මෙරට ක්‍රියාත්මක වන පනත් 10 ක් යටතේ තීරු බදු ,ආනයන බදු ,ආදායම් බදු ,ලාභාංශ බදු ආදී බදුවලින්,විවිධ අයකිරීම් හා මූල්‍යමය හා විවිධ විධි විධානවලින් නිදහස් කිරීම් හා දිරිගැන්වීම් රැසක් ප්රදානය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනක් නිකුත් කර තිබේ.
නමුත් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත ,2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත සහ විනෝද බදු පනත යටතේ කිසිදු බදු නිදහසක් හෝ දිරිගැන්වීමක් ප්රදානය නොකරන බව ගැසට් නිවේදනය මගින් දක්වා ඇත.
කොළඹ වරාය නගර ආර්තික කොමිෂන් සභාවේ නිර්දේශ හා අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ලැබී ඇති මෙකී බදු හා අයකිරීම්වලින් නිදහස් කිරීම පිළිබඳ නියමයන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස 2021 අංක 11 දරණ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය මෙම මස 09 දාතමින් නිකුත් කෙරිණි .
දැනට ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමත කර ඇති අතර මෙම ආයතනය ඇමෙරිකන් ඩොලර් මිලියන 210 ක ආයෝජනයක් යටතේ කොළඹ වරාය නගරයේ අංක 1,4,5 සහ 11 යන ඉඩම් කැබලි කේන්ද්‍ර කර ගනිමින් සුඛෝපභෝගී විලා සහ ව්‍යාපාරික මධ්‍යස්ථානය ඉදිකර ඒවා තිරසර ලෙස සංවර්ධනය කිරීමෙහි නිරතව සිටින බව ගැසට් නිවේදනය මගින් පෙන්වා දී ඇත.
එමෙන්ම මෙම සමාගම මගින් ඇවිදින මංතීරු, ජල මාර්ග ,හරිත අවකාශ හා පොදු ස්ථාන සහිතව ඉදිකරන සුඛෝපභෝගී විලා ව්‍යාපෘතිය සහ පොදු ස්ථාන ,වර්ග මීටර් 20000 ක කාර්යාල පරිශ්‍රයක් සහිතව ලොව අති නවීනතම පහසුකම්වලින් යුක්තව ඉදිකරන ව්‍යාපාරික මධ්‍යස්ථානය මගින් ව්දේශීය හා විදේශීය වශයෙන් 1000 කට පමණ රැකියා අවස්ථා උදාකිරීම ඇතුළුව මෙරට ආර්ථිකයට වාසි සහගත වන බව දක්වමින් මෙලෙස බදු හා අයකිරීම්වලින් මෙම සමාගම නිදහස් කිරීමේ යෝග්‍යතාව පිළිබඳ කරුණු විස්තර කර ඇත.
මේ අනුව මෙකී සමාගම මෙරට ව්‍යාපාර , විදේශීය වෙළඳාම ,බදු ආදී ක්ෂේත්‍ර සඳහා බලපාන්නාවූ පනත් 13 කින් 10 ක් යටතේ සියලු බදු අයකිරීම් හා වෙනත් අයකිරීම්වලින් 2024.04.20 දින සිට බල පැවැත්වෙන පරිදි 2049.04.19 දක්වා වසර 25 ක් පුරාවට මුලුමනින්ම නිදහස් කර තිබේ.
2017 අංක 24 දරන දේශිය ආදායම් පනත , 2002 අංක 14 දරන එකතු කළ අගය මත (වැට්)පනත,2002 අංක 11 දරන මුදල් පනත ,2005 අංක 5 දරන මුදල් පනත ,1989 අංක 13 දරන සුරාබදු පනත ,රේගු පනත 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත,1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත ,1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ පනත සහ 2017 අංක 12 දරන විදේශ විනිමය යන පනත් 10 යටතේ මෙම නිදහස් කිරීම් සහ සහන ලබා දී තිබේ.
මෙම සමාගම දේශීය ආදායම් පනත යටතේ ආදායම්,ලාභ,ලාභාංශ, ආදී සියලු බදුවලින් හා කරන ලද ගෙවීම් සඳහාවූ රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වේ.
රේගු , සුරාබදු , ගුවන් තොටුපොළ සංවර්ධන බදු ,අපනයන සංවර්ධන ආදී පනත්වලට අනුකූලව තීරුබදු හා වරාය නගර කොමිෂන් සභාව මගින් අනුමත ව්‍යාපාර ආශ්රිත සියලු ආනයන බදුවලින් හා අයකිරීම්වලින් ද මෙම සමාගම නිදහස් කර නිදහස් වේ.
එමෙන්ම විදේශ විනිමය පනත (ආයෝජන හැර) ,මුදල් පනත් සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත යන පනත්වල සියලු විධිවිධානවලින් මෙම සමාගම නිදහස් කර තිබේ.
ජේ. ඉඳුරුවගේ