මේ වන විට ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
යම් ආකාරයකින් අනතුරක් සිදුවුවහොත් මෙහි වගකීම අමාත්‍යාංශය ඇතුළු රජයට පැවරෙන බැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දෙන ලදී. රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකරමින් පැවති ස්ථානයේ සවිකර ඇති ඉදිකිරීම් ආධාරක ඇතුළු උපාංග සුළඟට කඩා වැටී අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවත්, ජලය එක්රැස්වීම හේතුවෙන් මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බවත් මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් මෙම ගොඩනැගිල්ලේ මහල් ත්‍රිත්වයක් පොළොව මට්ටමට පහළින් පැවතීම නිසා එහි වැසි ජලය එක්රැස්ව ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව ඇති බැවින් අවට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්වලින් පැමිණිලි ලැබී ඇති බවද නිලධාරීහු මෙහිදී අනාවරණය කළහ.
ඒ අනුව මෙම ආයෝජකයා සමඟ සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නිශ්චිත කාලරාමුවක් තුළ නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය. ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ ආයෝජන සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ.