කෝවිඩ්19 වැලඳී විදෙස් රටවලදී මියයන ශ්‍රමිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 බැගින් කාර්යාංශ රක්ෂණ වන්දි පිරිනමන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
එමෙන්ම මියගිය අයගේ ආගමික කටයුතු සඳහා රුපියල් 40,000ක මුදලක් ලබාදෙන බවද එම කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ඇති කරගෙන තිබෙන 2019 ගිවිසුමට අනුව, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ යෙදී සිටියදී සිදුවන සාමාන්‍ය මරණයකදී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 05ක මුදල කෝවිඩ්19 වැලඳී මියයන ශ්‍රමිකයන් වෙනුවෙන්ද ගෙවීමට තීරණය කළ බව රත්වත්තේ මහතා සඳහන් කළේය.
එම වන්දි මුදල් ගෙවීම සඳහා 20 දෙනෙකුගේ ලිපිගොනු සකස් කරමින් පවතින බවත්, 2020 මාර්තු 16න් පසු ලියාපදිංචිය ලබා විදේශගත වූවන් වෙනුවෙන් මෙම වන්දිය රුපියල් ලක්ෂ 06 දක්වා වැඩි කර ඇති බවත් සභාපතිවරයා කියා සිටියේය. මෙයට අමතරව මියගිය සෑම අයෙකුගේම ආගමික කටයුතු සඳහා රුපියල් 40,000 බැගින් පිරිනැමේ.
එමෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලබා එහි කාලය ඉක්මවා තිබියදී එය අලුත් නොකර සේවය කරමින් සිටියදී මියයන අය වෙනුවෙන් රක්ෂණ වන්දි හිමි නොවන අතර, ඒ අය වෙනුවෙන් කාර්යාංශයේ විශේෂ සුභසාධන අරමුදල යටතේ රුපියල් ලක්ෂ 03 බැගින් වන්දි පිරිනැමීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට කෝවිඩ්19 වෛරසය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු 40 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, එය පිරිමි ශ්‍රමිකයන් 37ක් හා කාන්තා ශ්‍රමිකයන් 03ක් ලෙස වාර්තා වන බවද සභාපතිවරයා කියා සිටියේය. සෞදි අරාබියෙන් 18ක්, කුවේට් 09ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් 08ක්, ඕමාන්, කටාර් රාජ්‍යවලින් 02 බැගින් හා ලෙබනන්වලින් එක් මරණයක් වශයෙන් වාර්තා වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම වර්ෂයේ ගෙවුණු මාස 06 තුළදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදේශගත වූ ශ්‍රමිකයන් 40,143ක් වෙනුවෙන් නොමිලේ ලබාදෙන සහන රක්ෂණ හිමිකම පිරිනැමීම සඳහා කාර්යාංශය විසින් රක්ෂණ වාරික ලෙස රුපියල් 26,330,000ක මුදලක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ගෙවා තිබේ.