කොරෝනා වසංගතය මැද ඩෙංගු වසංගතයක් ඇති නොවන්නට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ බස්නාහිර පළාත ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශ වලට වර්ෂාපතනය ලැබෙන බවට වාර්තා වන බවත් ඒ සමගම ඩෙංගු මදුරුවන් බෝවීමේ පරිසර නිර්මාණයට වැඩි ඉඩක් නිර්මාණය වන බවත්ය.
කොරෝනා කෝවිඩ් 19 වෛරස රෝගීන් සමඟම ඩෙංගු රෝගින්ද වාර්තා වීමේ අනතුර අවම කිරීම වෙනදාටත් වඩා දැඩි අවධානයකින් සිදු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
විශේෂයෙන් මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරිශ්‍ර, කර්මාන්ත ශාලා බොහොමයක් වසා ඇති නිසා ආයතන ගොඩනැගිලි ඌණ භාවිත තත්ත්යේ පවතින බවත් එම ආයතන වල වැසිකිලි පද්ධතිවලත්, ජලය එක්රැස් වන ස්ථාන වලත් ඩෙංගු මදුරුවන් බෝවීමේ ඉහළ හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පරීක්ෂණ අංශය සඳහන් කරන බවද සභාපති වරයා පවසයි.
එහිදී විශේෂයෙන් ඉදිකරමින් පවතින ගොඩනැගිලි පරිශ්‍ර හා වැඩ බිම්, වසා දමා ඇති විශ්ව විද්‍යාල , උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීය පුහුණු ආයතන ගොඩනැගිලි පරිශ්‍ර හා පාසල් ගොඩනැගිලි පරිශ්‍ර විශේෂ අවධානයක් යොමුකළ යුතු ආයතන පරිශ්‍ර ලෙස එම සංගමය පෙන්වා දෙයි.
මේ දිනවල සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් වලට අනුගත වී සියලු ආයතන පරිශ්‍ර වල හා අවට පරිසරයේ මදුරුවන් බෝ නොවන තත්ත්වයක් පවත්වාගෙන යාම ආයතන ප්‍රධානින්ගේ හා හිමිකරුවන්ගේ වගකීම බවද සභාපතිවරයා සඳහන් කරයි.
එසේම සියලුම ජනතාව තමන්ගේ නිවෙස් හා අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පවත්වාගැනීමද අත්‍යාවශ්‍ය බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.