කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරසය ආසාධන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා ඔහුට මුලික ප්‍රතිකාර කළ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද පස්වරුවේ සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
අද සවස 5.00 සිට එම ඒකකය සම්පුර්ණයෙන්ම වසා දමා විෂබීජ හරණය කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය .
මෙම පුද්ගලයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවන කොරෝනා ආසාධිතයා හඳුනාගත් කටුපොත ප්‍රදේශයට යාබදව පිහිටි සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අද පස්වරු 1.00 ට පමණ හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත .
ඔහු ඒ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුළත් කරගන්නා හදිසි ප්‍රතිකාර ඒකකයේ බොහෝ වේලාවක් ගතකර තිබූ බවද එහි ක්‍රියාත්මක එක්ස් කිරණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර පවා ලබාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය .
මෙම සැකසහිත තත්ත්වය හමුවේ ඔහු කොරෝනා රෝගියෙකුදැයි හඳුනා ගැනීම සඳහා රෝහලේ කොරෝනා රෝග ප්‍රතිකාර ඒකකයට ඇතළත් කළ බවද ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාව ලැබෙනතෙක් සැකසහිත බැවින් ඔහුට ප්‍රතිකාර කළ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා 15 ක් පමණ වන එහි සම්පුර්ණ කාර්ය මණ්ඩලයම ඉවත් කළ බවද ඒ මහතා පැවසීය .
මෙම පුද්ගලයා තමන්ට උණ සහිත රෝගී තත්ත්වයක් තිබෙන බව සඟවා වෙනත් රෝගී තත්ත්වයන් පවසා ඇති බවද නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.
මේ වන විට මූලික ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු 7 දෙනෙක් ඇතුළුව කාර්ය මණ්ඩලයේ 39ක් නිරෝධානය කටයුතු සඳහා කුරුණෑගල හෙද විදුහල වෙත යොමුකර තිබේ.
ගීතාංජලී ප්‍රියදර්ශනී