නුවරඑළිය රජයේ මහ රෝහලෙන් කළ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලින් පසු ලබාදුන් ඖෂධ හේතුවෙන් ඇස් පෙනීම අහිමි වීමට වන්දි වශයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය හා රෝහල් බලධාරීන්ගෙන් රුපියල් කෝටි 30 ක වන්දි අය කරදෙන්නැයි ඉල්ලා පුරවැසියන් තිදෙනෙක් කොළඹ දිසා අධිකරණයේ නඩු තුනක් අද (20දා) පැවරූහ.
තමන් සදාකාලික අන්ධභාවයට පත්වීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්රමුඛ අදාළ ඖෂධය ඉන්දියානු සමාගමෙන් මෙරටට ගෙන්වීමට අවසර දුන් බලධාරීන්, ඖෂධය අනුමත කළ බලධාරීන් මෙන්ම ඖෂධය ගෙන්වූ සමාගම සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව සඳහන් කරමින් පෙත්සම්කරුවන් මෙම වන්දි නඩු ගොනු කර ඇත.
කඳපොළ පදිංචි එම්. රාජරත්නම්, බණ්ඩාරවෙල පී.ඒ. නන්දසේන හා නුවරඑළියේ එම්.ඒ. කල්හාරි යන මහත්මා මහත්මීන් ගොනු කර ඇති මෙම වන්දි නඩුවල වගඋත්තරකරුවන් වශයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ පර්යේෂණ ආයතනය, නුවරඑළිය රජයේ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය රොෂාන් එදිරිසිංහ, නුවරඑළිය රජයේ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න හා නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර ඇත.
නීතිඥ සම්පත් විජයවර්ධන මහතා මගින් මෙම නඩු ගොනුකර ඇති පෙත්සම්කරුවෝ තමන් 2023 අප්‍රේල් මාසය ඇතුළු ආසන්න දිනවලදී නුවරඑළිය මහ රෝහලෙන් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කළ බවත්, පසුව තමන්ට එම රෝහලෙන් දුන් “ඡරුාබසිදකදබැ ්ජැඒඑැ ැහැ ාරදචි” නමැති ඖෂධය ඇසට යෙදූ බවත් සඳහන් කරති.
රෝහලෙන් දුන් ඖෂධය වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඇසට යෙදීමෙන් පසු ඇසේ වේදනාවක් හටගත් බවත්, කරකැවිල්ලක් ඇතිවූ බවත්, ඉන්පසු තමන්ගේ ඇස් පෙනීම අහිමි වූ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ රෝහලෙන් දුන් ඖෂධ භාවිත කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය උද්ගත වූ බවත් ප්‍රකාශ කරති.
ඇස් පෙනීම අහිමිවීම හේතුවෙන් තමන්ගේ දෛනික රැකී රක්ෂා කටයුතු කර ගැනීමට නොහැකි වී ඇති හෙයින් මුළු ජීවිත කාලයම අන් කෙනෙකුගේ පිහිට මත ජීවත් වීමට සිදුව ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මෙම තත්ත්වයට හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෘජුවම වගකිවයුතු බව පවසති.
තමන්ගේ ඇස් අන්ධ වීමට හේතු වූ ඖෂධය ඉන්දියානු සමාගමෙන් මෙරටට ගෙන්වීමට අවසර දුන් රඹුක්වැල්ල මහතා ප්රමුඛ බලධාරීන්, එම ඖෂධය අනුමත කළ බලධාරීන්, ඖෂධය ගෙන්වූ සමාගම ඇතුළු වගඋත්තරකරුවන් තමන්ගේ ඇස් අන්ධ වීමට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව පෙන්වාදෙන පෙත්සම්කරුවෝ තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් ඔවුන්ගෙන් රුපියල් කෝටි 10 බැගින් කෝටි 30ක වන්දියක් අය කරදෙන්නැයි ඉල්ලා සිටිති.