කෘෂි භෝග අපනයනය මගින් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ 2024 වසරේදී කෘෂි භෝග මෙට්‍රික් ටොන් 44,262 ක් අපනයනය කර රුපියල් මිලියන 89,217 ක විදේශ විනිමය ආදායමක් උපයා ඇති බවයි.
මහනුවර පේරාදෙණිය ගැටඹේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්යක්ෂවරයා මේ බව සඳහන් කළේය.
2024 වසරේදී වැඩිම අපනයන ආදායමක් ලබා ගෙන ඇත්තේ ගම්මරිස් අපනයනයෙනි. එම වසරේ අපනයන කර ඇති ගම්මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,968 ක් වන අතර එමගින් උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 51,524 ක් බවද සංවර්ධන අධ්යක්ෂවරයා කියයි.ගම්මිරිස් අපනයන මගින් ශ්‍රී ලංකාව වසරකට ලබා ගත් වැඩිම ආදායමද මෙය බවත් අධ්යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය. මෙම ගම්මරිස් අපනයනයන්ගෙන් වැඩිම ප්‍රමාණය අපනයනය කර ඇත්තේ ඉන්දියාවට වන අතර එයට අමතරව ඇමරිකාව, ජර්මනිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයකටම ගම්මිරිස් අපනයන කර ඇති බවත් ඒ මහතා කීය.
2023 වසරේදී අපනයන කර ඇති ගම්මරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14,255 ක් වන අතර එමගින් උපයා ගෙන ඇති මුදල රුපියල් මිලියන 29,329 කි. 2023 වසරට වඩා 2024 වසරේදී උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය සියයට 75.67 කින්ද අපනයනය කර ඇති ගම්මිරිස් ප්‍රමාණය 2023 ට වඩා 2024 දී සියයට 82.23 කින් ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.
මෙම වසරේදී පුවක් මෙට්‍රික් ටොන් 8,852 ක් අපනයනය කර රුපියල් මිලියන 11,598 ක්ද සාදික්කා මෙට්‍රික් ටොන් 2,317 ක් අපනයන කර රුපියල් මිලියන 4,648 ක්ද උපයා ගෙන තිබේ. එයට අමතරව කහ, ඉඟුරු කෝපි, එනසාල්, කරාබු, වැනිලා, බුලත්, ගොරකා සහ කොකෝවා ඇතුළු අනෙකුත් භෝග මෙට්‍රික් ටොන් 7,023 ක් අපනයන කිරීම මගින් රුපියල් මිලියන 20,526 ක මුදලක්ද උපයා ගෙන ඇති බවත් සංවර්ධන අධ්යක්ෂ උපුල් රණවීර මහතා තව දුරටත් කීය.
මහනුවර - මොහොමඩ් ආසික්