කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළා යාම සදහා 07/06 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකි. මොහු 07/06 දින රාත්‍රී 07.20 ට සෞදි අරාබියේ දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් කැනඩාව බලා යාමට සැළසුම් කර තිබුණි .
ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර විගමන කටයුතු සදහා පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට මොහු පිළිබඳ ඇති වූ සැකය මත මොහු නවතා මොහුගේ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි පරීක්ෂා වට ලක් කර තිබේ .
එහිදී එම ගමන් බලපත්‍රය කැනඩාවේ වීසා බලපත්‍ර හිමි වෙනත් ශ්‍රී ලාංකිකයෙකු සතු ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ.
මොහු තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 18 ක මුදලක් ලබා දී එම ගමන් බලපත්‍රයට මොහුගේ ජායාරූපය සහ අනෙකුත් මූලික තොරතුරු ඇතුළත් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ගත් බව මොහු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මොහු රැගෙන විත් තිබූ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය , ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් , ව්‍යාජ ඩුබායි නේවාසික වීසා බලපත්‍රයක් සහ ව්‍යාජ විගමන මුද්‍රාවක් ද තිබී ඇති අතර පසුව මොහු ඒවා ද සමග අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම තරුණයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .