කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් වීසා නොමැතිව නීතිවිරෝධි ආකාරයට තම රටේ රැඳී සිටින සියළුම විදේශිකයන්ට හැකි ඉක්මනින් එරටින් පිටව යන කුවේට් රජය විසින් කර ඇති නියෝගයක් හේතුවෙන් මේවනවිට වීසා බලපත්‍ර රහිතව එරට අසරණව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි .
කුවේට් රජය කොරෝනා වසංගතයයට මුහුණ දීම සඳහා මේවනවිට එරට ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් වීසා රහිතව රැඳී සිටින මෙම පිරිස මේ වනවිට මෙතෙක් කරමින් තිබූ සියළුම රැකියා අහිමිව ආහාරපාන , වෛද්‍ය ප්‍රතිකාර , රෝගාබාධයන්ට අවශ්‍ය ඖෂධ පවා සපයාගත නොහැකිව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානයේ කැඳවුම්කරු සංජීව මඩපාත මහතා ‘අදට’ පැවසීය .
"වීසා බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස කුවේට්වල රැකියා කරමින් සිටින සියළුම විදේශීකයන්ට හැකි ඉක්මනින් රටින් පිටවන ලෙස කුවේට් රජය නියම කරලා තියෙනවා . එසේ සිටින අයට තමන්ගේ රටවලට යාමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ ගුවන් යානා පවා නොමිලේ ලබාදෙන බව කුවේට් රජය ප්‍රකාශ කරලා තියෙනවා. මේවනවිටත් රටවල් කීපයක්ම කුවේට්වල ඒ ආකාරයට රැඳී සිටි තම රටවැසියන් ඉවත් කරගෙන තිබෙනවා.
මේ විදිහට රැඳී සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ද ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගන්න කියලා අපි කුවේට් ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් ජවුහාර් මහතාගෙන් ඉල්ලීමක් කළාම ඔහු අපිට කීවේ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළෙන් ගුවන් මඟීන් ඇතුළත් කර නොගන්නා නිසා මේ පිරිස ශ්‍රී ලංකාවට යැවීම අසීරු දෙයක් කියලයි.
නමුත් අපි ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ විදිහට අසරණව සිටින මේ පිරිස ගෙන්වාගෙන ඔවුන් හැකි පමණ කාලයක් හෝ නිරෝධායනය කරලා රටට බාරගන්න කියලා.
එසේ නොවුනොත් මේ විශාල පිරිස ආහාරපාන නැතිව බඩගින්නේ හෝ නැතිනම් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වෙනත් රෝගාබාධ වලට හෝ කොරෝනා වෛරසයට හෝ ගොදුරු වෙලා මිය යාමට පුළුවන් .
මේවනවිටත් කුවේට්වල පුද්ගලයන් 665 දෙනෙකු පමණ කොරොනා වෛරසයට ගොදුරු වෙලා සිටිනවා . එම නිසා අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන්න කියලා "
ගීතාංජලී ප්‍රියදර්ශනී