කුලියාපිටියේ සුසිත් ජයවංශ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සිඟිති ඇතුළු සැකකරුවන් මේ මස 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (13දා) නියම කළේය.
ඊට අමතරව අත් අඩංගුවට ගෙන තිබූ සිඟිති නමැත්තාගේ දියණිය වෛද්‍ය පරීක්ෂණ සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ බව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු පිළිබඳ සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් නඩුවේ 9 සැකකරු ලෙස නම් කර තිබූ දියණියද 27දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියම කළේය.
දින 15ක් අතුරුදන්ව සිටියදී පණිරෙන්ඩාව රක්ෂිතයේ තිබී මෘත ශරීරය සොයාගන තිබූ සුසිත් ජයවංශ නැමැති 31 හැවිරිදි තරුණයෙකු ඝාතනය කළ බවට රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි එම සැකකරුවන් එසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ප්‍රධාන සැකකරුගේ දියණියද ඇතුළුව සිද්ධිය සම්බන්ධව මේ වනවිට 9 දෙනෙකු රිමාන්ඩ් ගතකර ඇත.
අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය කියාසිටියේ මෙම සිද්ධියට මුල් විණැයි කියන ප්රේමසබඳතාවට මුල් වූ සිඟිති නමැත්තාගේ දියණිය මෙම නඩුවේ නවවන සැකකරු ලෙස ඇතුළත් කරන ලෙසයි. එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර එම තැනැත්තිය මෙම නඩුවට ඇතුළත් කරන්නේ කුමන පදනමකින්ද යන්නයි.
එහිදී පොලිසිය කියාසිටියේ සිඟිතිගේ දියණිය සිද්ධිය වූ බව කියන දිනයේ දුරකථන ඇමතුමක් ලබාදී ඔහු කැඳවා ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වූ බවයි.
සැකකරුවන් වෙනුවෙන් කරුණු කී නීතිඥ හෂිනි මෙණ්ඩිස් මහත්මිය ඉල්ලාසිටියේ මෙම නඩුවේ 1 සැකකරු රෝගී අයෙකු බැවින් බන්ධනාගාරයට ප්‍රතිකාර සඳහා අවසර ලබාදෙන ලෙසට හා 8 වෙනි සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එහි සිටි සැකකරුවන් 8 දෙනා හා රෝහලේ සිටි සිඟිතිගේ දියණිය මේ මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. එමෙන්ම 1 හා 8 සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරිය කළ ඉල්ලීමට අවසර ලබාදෙන බවටද නියම කළේය.