බුවනෙකබාහු රජු සමයේ රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වරැදිකරුවන් බවට පත්ව සිර දඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔවුන්ගෙන් ආපසු අයකර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.
එම මුදල නැවත අයකර ගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනාට අධිභාර නිවේදන යැවීමට කටයුතු සකස් කරමින් පවතින බව වාර්තාවේ.
රාජසභා මණ්ඩපය කඩා දැමීම නගර සභාවට අයත් පොදු කටයුත්තක් බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු සඳහා පෙනී සිටි ජනාධිපති නීතීඥවරුන් කීප දෙනෙකුටම ගාස්තු ගෙවීම සඳහා නගර සභා පොදු ගිණුමෙන් මෙම මුදල ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල මහ නගර සභාවේ උසස් නිලධාරියෙකු පැවසීය. මුදල් ලබා ගැනීම සඳහා සභා අනුමැතියද ලබාගෙන තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ එම නඩුව හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස පරාජය වීම හේතුවෙන් නගර සභා ආඥා පනතට අනුව ඔවුන් වෙනුවෙන් වැය කළ මුදල නැවත ප්‍රතිපූරණය කර ගැනීමට සිදු වන බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස මේවනවිට බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔවුන්ට අධිභාර නිවේදන තැපැල් මගින් බාර දීම ගැටළුවක් වන බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මේ අතර කුරුණෑගල මීගමු පාරේ පදිංචි ප්‍රියංකර ලියනගේ නමැති අයද කුරුණෑගල මහ නගර සභාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට වැය කර තිබෙන එම මහජන මුදල් නැවත සභාවට අයකර දීම සඳහා නාගරික පුරවැසියෙකු වශයෙන් තමන් අධිකරණය හමුවට යන බව ප්‍රකාශ කළේය.
රාජසභා මණ්ඩපයට හානි කිරීම මහ සභා අනුමැතියකින් තොරව කරන ලද දෙයක් බවද එවැනි දෙයක් වෙනුවෙන් සභාව සතු මුදල් පෞද්ගලික නීතීඥවරුන් සඳහා වැය කිරීම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස නීති ගාස්තු වශයෙන් වැය කර තිබෙන කෝටි ගණනක එම මුදල ඔවුන් ආපසු සභාවට ගෙවිය යුතු බවද ලියනගේ මහතා පැවසීය.
කුරුණෑගල මහ නගර සභාව තුළ දූෂණ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව සඳහන් කරමින් ලියනගේ මහතා මීට පෙරද අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූ අතර එම නඩුව සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක්ද පත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල හිටපු නගරාධිපතිවරයෙකු වන හිටපු නාගරික මන්ත්‍රී ගාමිණී පෙරමුණගේ පෙන්වා දුන්නේ මෙම මුදල තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිස නොගෙවන්නේනම් පමණක් මහ නගර සභා ආඥා පනතට අනුව එම මුදල සභාවෙන් ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන් හිටපු සියළුම නාගරික මන්ත්‍රීවරුන්ගෙන් එම මුදල අයකර ගැනීමට සිදු වන බවය. තමන් සමඟ තවත් හිටපු නගරාධිපතිවරයෙකු වන සුමේධ අරුණශාන්ත (සජබ) සහ රණුක සනන්ජය (ජවිපෙ) තිදෙනා පමණක් එම මුදල අනුමත කිරීමට එදා විරුද්ධවූ බවද ඒ මහතා පැවසීය.