කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය බව කියන ගොඩනැගිල්ලට හානි සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (6) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් අද සලකා බැලීමෙන් අනතුරුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
ඒ අනුව රාජසභා මණ්ඩපයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබෙන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ( ශ්‍රීපොපෙ) මහතා සමඟ කුරුණෑගල නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, කුරුණෑගල ප්‍රධාන නාගරික ඉංජිනේරු චමින්ද කුමාර අධිකාරි , කුරුණෑගල මහ නගර සභාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම් බාර නිලධාරි මොහොමඩ් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර රියැදුරු ලලිත් ප්‍රියන්ත වර්ණසූරිය යන අය අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මූලස්ථාන පොලීසියේ සහ කුරුණෑගල කොට්ඨාසය විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරුන්ට මහේස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කරනු ලැබීය.
අද පස්වරු 1.30 මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවන ලද අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා සමඟ රජයේ අධිනීතීඥ මාෂව තෙන්නකෝන් මහතා සහ කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි හා කුරුණෑගල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩී.කුලතුංග මහත්වරු පෙනී සිටියහ.
විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය. මෙහිදී දීර්ඝ ලෙස අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කුරුණෑගල මහ නගර සභාව විසින් හානි සිදුකර ඇතැයි චෝදනා එල්ල කරන මෙම ගොඩනැගිල්ල ඉපැරැණි වුවද එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා ආඥා පනත යටතේ සංරක්ෂිත ස්මාරකයක් ලෙසට කිසිදු අවස්ථාවක ගැසට් කර නැති බව පෙන්වා දුන්නේය.
ඉකුත් 2019 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම කුරුණෑගල ඉපැරැණි රාජධානියේ සංරක්ෂණ කටයුතු සිදු කරන ලද නිරීක්ෂණයකින් අනතුරුව නිකුත් කරන ලද වාර්තාවකද මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා සංරක්ෂිත ස්මාරකයක් ලෙසට හඳුන්වාදී නැති බව සඳහන් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එම වාර්තාවේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියත් සමඟ හදිසියේම අවදිවී සිටින පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමක් සහිත එකක් නම් එය සංරක්ෂණය කිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගත්තේ ඇයිදැයි ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රශ්න කළේය.
නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව එම ගොඩනැගිල්ල කඩා දැමීමට ගත් පියවර පුරාවිද්‍යා ආඥා පනත 18 , 19 වගන්ති වලට අනුකූල නොවන බැවින් මෙය පුරා වස්තු හානි යටතට නොගැනෙන බවද නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස වැඩි දුරටත් සඳහන් කළේය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා රජය යටතේ තිබෙන සෑම ඉපැරැණි ස්මාරකයක් සඳහාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගැසට් නිවේදන නිකුත් කිරීම අසීරු කාර්යයක් වුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ඉපැරැණි ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක අතින් වටිනා ස්ථානයක් බවට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා විසින්ම නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව ප්‍රකාශ කළේය.
මෙම ඉපැරැණි ගොඩනැගිල්ලට හානි සිදු කිරීම මුළු රටම කතා වන ඉතා සංවේදී කාරණයක් වන බැවින් මේ ආකාරයට නීතිපති දොපාර්තමේන්තුව විසින් ඉකාම විනිවිදභාවයකින් යුක්තව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවද කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසට පොදු දේපල පනත යටතේ රජයේ පොදු දේපලකට අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බවද දැන්වීය.
මෙම සිදුවීම මුළු රටේම ඉපැරැණි උරුමයට බලපාන වැදගත් කරුණක් වන බැවින් මෙම අනර්ථයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා මෙම සිද්ධියට සම්බන්ධව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබෙන කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගෙන මෙම මස 10 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළේය.
චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පිරිස මේ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.