ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බැවින් ඔවුන්ට ලබා දෙන බැංකු ණය සමස්ත ණය ප්‍රමාණයෙන් 40%ක් දක්වා ඉහළට ගෙන ඒමට අදහස් කර තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
බැංකු මගින් ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන සමස්ත ණය ප්‍රමාණය සැලකීමේදී රටේ ආර්ථිකය සඳහා 52% ක දායකත්වයක් ලබා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වෙන් කරනු ලබන්නේ 20% ක ණය ප්‍රමාණයක් බවත් ඉතිරි 80% ක කොටස මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින්ලබා ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා එම අදහස් පළ කර සිටියේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් මධ්‍යම පළාත් ව්‍යවසායකයින් 15,000ක් සඳහා ණය ලබාදීම නිමිත්තෙන් මහනුවර ඕක්රේ හෝටලයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පාසල් දරුවන් සඳහා ව්‍යවසායකත්වය පාඩමක් ලෙස විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා වන ඉල්ලීමක් අධ්‍යාපන ඇමතිවරියගෙන් ඉල්ලා ඇති බවත් එය 09 වැනි වසරේ සිට දරුවන්ට පාසල් විෂය මාලාව යටතේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදීම මගින් අනාගතයේදී සාර්ථක ව්‍යාපාරිකයෙක් බිහිකිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට විශාල ශක්තියක් වනු ඇති බවයි.
ණය ගැනීමට බය නොවිය යුතු බවත් අධිෂ්ඨානය හා කැපවීම ඇත්නම් ණය ගෙවිය හැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා තනිව අවදානම ගෙන ව්‍යාපාර කර්මාන්ත කරන ලෝකයක් මේ වන විට නොමැති බවද අවධාරණය කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
ණය කියන්නේ ගෑනු ළමයි වගේ හොඳට ඉන්නකං හොඳයි. නරක් වුණොත් නරකටම නරකයි. පොඩ්ඩක් හෝ අප්සට් ගියොත් පැටිකිරිය ඔක්කොම අදිනවා. පරණ ලියුම් අරන් එනවා. වෙච්ච පොරොන්දු මතක් කරනවා. ඔයා මෙහෙමයි හිටියේ සමහර බැංකුත් එහෙමයි.ණය නොගෙව්වම බැංකුව සල්ලි දාපුවා පොලී ගෙවපුවා ඔක්කොම අමතක කරනවා. බැංකු නිර්මාණය වුණේ මිනිසුන්ගෙන් කියා ඒ අයට අමතකයි.
දැන් ව්‍යාපාරයකට කර්මාන්තයකට අත අතගහනවා කියන එක විශාල අභියෝගයක්. ව්‍යවසායකත්ව දැනුම නොමැති වීම තවත් අර්බුදයක්. ණය අර්බුදයෙන් ව්‍යවසායකයන් ගලවා ගන්නේ කොහොමද කියලා කර්මාන්ත අමාත්‍යංශය බැංකු සමග සාකච්ඡාා කරනවායැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.