කිරිබත්ගොඩ නිමිඇදුම් කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයක් වන අතර වසරේ සෑම දිනකම මෙම නගරය ජනාකීර්ණව පවතී.
මෙම නගරයට විවිධ අවශ්‍යතා සදහා පැමිණෙන ජනතාවගේ සහ නගරයේ පදිංචිකරුවන්ගේ ජනජීවිතයට බාධා වන අන්දමින් කිරිබත්ගොඩ එක්සත් වෙළඳ සංගමය විසින් සිදුකල ශබ්ද දූෂණය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ නියෝග මත අත් හිටුවා ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව ඔවුන්ට අයත් ආධාරක කණුවල මෙම ශබ්දවාහිනි යංත්‍ර දොළහ සවිකර තිබිණි. මෙම ශබ්ද දූෂණයට එරෙහිව ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේ නමක් සහ ප්‍රදේශ වාසීන් පිරිසක් අධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබිණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව ඔවුන්ට අයත් දේපළ පාවිච්චි කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් පොලිස් ආඥා පනතේ සදහන් නීති අනුව මහජන පීඩාවක් ඇති වන පරිදි ශබ්ඳ දූෂණය සිදුකිරීම වරදක් බවත් පොලිස් පතිවරයා විසින් කැලණිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස්අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක මහතාට දැණුම් දී තිබිණි.
ඒ අනුව පොලිස් අධිකාරී වරයා විසින් පොලිස් පතිවරයාගේ නියෝගය කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති වරයාට දැණුම් දීමෙන් අණතුරුව පොලිසිය වෙළඳ සංගමයේ නිලධාරීන්ට ඒ බව දැණුම් දී ඇත.
පොලිසිය නියෝගය ලබාදී දින තුනක් තුල ශබ්දවාහිනි යන්ත්‍ර ගලවා ඉවත් නොකල හොත් පොලිස් නිලධාරීන් යොදවා ඒවා ඉවත්කර අධිකරණයට භාරදීමට පියවර ගැනීමට සිදුවෙන බව පොලිසිය වෙළඳ සංගමයේ නියෝජිතයන්ට දැණුම් දීමෙන් අණතුරුව ශබ්දවාහිනි යන්ත්‍ර ඔවුන් විසින් ගලවා ඉවත්කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වී ඇත.
ශබ්ද දූෂණයට එරෙහිව ප්‍රදේශවාසින් හා එක්ව නීතියේ සහාය පැතූ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාන විහාරාධිපති පූජ්‍යපාද මාකොළ මංගල හිමිපාණන් වහන්සේගෙන් මේ පිලිබදව විමසූ අතර උන්වහන්සේ මෙසේ පැවසූහ.
"අපි විරුද්ධ උනේ ජනජීවිතය අව්ල් කරන ශබ්ද දූෂණයටයි. එක රටක් එක නීතියක් කියන එක රටේ ජනතාව තුල තියෙන විශාල බලාපොරොත්තු වක්. රටක පවත්නා නීතිය උස් පහත් දුගීදුප්පත් කියන විවිධ කෝණයන්ට ලඝු නොකර සැමට පොදුවේ එක නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.
මෙම ශබ්ද දූෂණය සම්බන්ධ ගැටළුව පොලිස්පතිවරයා විසින් පොලිස් ආඥා පනතේ නීති ප්‍රකාරව විසඳා තිබෙන බව දක්නට ලැබෙනවා. එතුමාට කිරිබත්ගොඩ ජනතාව ගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා" යැයි මාකොළ මංගල හිමිපාණන් වහන්සේ පැවසූහ.