පවතින සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීමෙන් මෙරට වියළි කලාපයේ කිරි නිෂ්පාදනය 40%කින් ඉහළ දැමිය හැකි බවට අනාවරණය වී තිබේ.
ඒ සඳහා කිරි ගොවීන් දැනුම්වත් කිරීම , යටිතල පහසුකම් ලබා දීම, සයිලේජ් සහ සාන්ද්‍ර ආහාර වැනි කිරිදෙනුන්ගේ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම මෙන්ම ගම් මට්ටමේ කිරි ගොවි කළමනාකරණ සමිතිවල සහාය මත ඉඩම් සහ අනෙකුත් තාක්ෂණික පහසුකම් සැපයීම අවශ්‍ය බව හඳුනාගෙන ඇත.
පොල් ත්‍රිකෝණය, යාපනය අර්ධද්වීපය සහ පහතරට වියළි කලාපය යන ගොවිපොළ පද්ධති නියෝජනය කරමින් කුරුණෑගල, අනුරාධපුරය, යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් තෝරාගත් කිරිගොවි නියැදියක් මත හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය කර ඇති අතර වියළි කලාපයේ කිරි නිෂ්පාදනයේ තාක්ෂණික කාර්යක්ෂමතාවට බලපාන සාධක හඳුනා ගැනීම අධ්‍යයනය මගින් සිදු කර තිබේ.
එසේම මෙම අධ්‍යයනයට අනුව වියළි කලාපීය කිරි ගොවිතැන මහා පරිමාණ ගොවිපළ 0.5%කින්ද, මධ්‍ය පරිමාණ ගොවිපළ 46.3% කින්ද, කුඩා පරිමාණ ගොවිපළ 53.2%කින්ද සමන්විත වේ. එහිදී ගොවීන්ගෙන් 8.3%ක් සූක්ෂ්ම ක්‍රමයට ගව පාලනයේ නියැලෙන අතර 68.1%ක් අර්ධ සූක්ෂ්ම ක්‍රමයට හා ඉතිරි 23.6% නිදැලි ක්‍රමයට ගව පාලනයේ යෙදෙන බවට අනාවරණය වී තිබේ.
අධ්‍යයනය මගින් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ කිරි නිෂ්පාදනය පිළිබඳ පුහුණුව සහ අත්දැකීම් ලබා තිබීම එම නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පෙන්වා දෙන පරිදි දේශීය කිරි නිෂ්පාදනය රටේ කිරි අවශ්‍යතාවෙන් 40%ක් පමණක් සපුරාලීමට ප්‍රමාණවත් වන වන අතර පවතින කිරි නිෂ්පාදන පද්ධතිවල උපරිම විභවය ප්‍රයෝජනයට නොගත් බව එමඟින් පෙන්නුම් කෙරේ. එසේම දිනකට කිරි ලීටර 06-08ක් පමණ නිෂ්පාදනය කරන මෙරට කඳුකරය, මැදරට සහ පහතරට තෙත් කලාපය වැනි කිරි නිෂ්පාදන කලාපවලට සාපේක්ෂව වියළි කලාපය තුළ කිරි නිෂ්පාදනය ලීටර 02ක් පමණ අඩු මට්ටමක පවතින බවටද එම ආයතනය සඳහන් කරයි.