දේශපාලඥයන් ඇතුළු ඔවුන්ගේ සහචරයන් විසින් අත්තනෝමතිකව, අදූරදර්ශී ලෙස සාමාන්‍ය ජනතාවගේ අදහස්වලට ඇහුම් කන් නොදී මෙරට හදවත බදු උඩරට කඳුකරයේ ජල උල්පත් සහිත ගංගාධාර පද්ධතිය හා ඒවායේ උප්පත්තිය ස්ථාන පවා අද මේ වනවිට විනාශ මුඛයට ඇද දමා ඇති බව එක රටක් එක නීතියක් සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසුහ.
එක රටක් එක නීතියක් සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඊයේ (27) නුවරඑළියේදී එසේ කීය.
එහෙදී තවදුරටත් අදහස් දැක්වු ඥානසාර හිමියෝ මෙසේද පැවැසුහ.
“නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් අපි අද ලබා ගත්තා. එහෙදී අපිට දැන ගන්න ලැබුනේ හද පාරවන තරම් වු සිද්ධීන්. අපේ භාෂාවෙන් කියනවනම් කෑගහලා අඬන්න තරම් වු සිද්ධීන් අපිට දැන ගන්න ලැබුණා.
අපි දන්නවා අපේ පෙර රජ දරුවන් මෙන්ම අපේ අතීත මුතුන් මිත්තන් කවදාවත් මේ කඳුකරයට අත තිබ්බේ නැහැ. මොකද වාරි ශිෂ්ඨාචාරය මත තිබුණු රටක හදවත වගේ මේ කඳුකර හදවත රැක ගත්තා. මොකද රට බත බුලතින් පොහොසත් කරන්න. ඒ වගේම ජල සම්පත උවමනා නිසා. ඉතින් අපිට ජනතාවගෙන් දැන ගන්න ලැබුණු කරුණු වලට අනුව මේ ජල උල්පත් සහිත ගංගාධාර මෙන්ම ඒවායේ උප්පත්ති ස්ථාන පවා අද මේ වනවිට විශාල වශයෙන් විනාශ මුඛයට පත්වෙලා තියෙනවා.
මේ සියල්ලක්ම දේශපාලඥයන් විසින් අත්තනෝමතිකව අදුරුදර්ශි ලෙස සාමාන්‍ය ජනතාවගේ අදහස් වලට කන් නොදී ඒ අයගේ සහචරයන් සහ අතමිට යහමින් මිල මුදල් ඇති අයවලුන් සමග එකතුව මේ සංහාරය කරන බව තමයි අපිට දැන ගන්න ලැබුණේ.
ඉතින් මෙහෙදී මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් හොද යෝජනා කීපයක් ඉදිරිපත් උනා
අපිට තියෙන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කරන්න. අපිට වෙන කියන්න කෙනෙක් නැහැනේ. ඉතින් මේ තිබෙන ඇත්ත තත්ත්වය නොවලහා ඇත්ත ඇති සැටියෙන් එතුමා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා”
ශාන් හුලංනුගේ