කැළණිවැලි තේ වතු සමාගමට අයත් සියළුම තේ වතු වල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සදහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
එම වතු සමාගමට අයත් නානුඔය උඩ රදැල්ල වතුයායේ වතු පාලන අධිකාරිය විසින් තේ ගස් ගලවා කෝපි වගාව සිදු කිරිමට තිරණය කර බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඉකුත් මස කටයුතු කරමින් සිටියදි එයට විරෝධය පලකල එම වතුයායේ වතු කම්කරුවන් කිහිපදෙනෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේ එම කම්කරුවන් විසින් සිදු කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් (30) දින දෙපාර්ශවයම කැදවා සාකච්ඡාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවට පැමිණිලි පාර්ශවය , වතු පාලන අධිකාරිය සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා සහභාගි වි ඇති අතර , එහිදි වතු පාලන අධිකාරිය තාවකාලිකව වැඩ තහනම් කල වතු කම්කරුවන්ට යලිත් වැඩ ලබාදිමට එකගතාවය පල නොකිරිම මත එම සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වි ඇත.
එයට විරෝධය පාමින් එම වතු සමාගමේ සියළුම වතු වල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සදහා රැගෙන යාමට ඉඩ ලබානොදෙන ලෙස එම වෘත්තිය සමිතියේ සියළුම සමාජිකයන්ව අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා විසින් දැනුවත් කර ඇත.
මෙම ගැටළුවට විසදුමක් ලබාදෙන තෙක් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.