කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 03/24 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ කැනඩාවට පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35 ත් - 40 ත් අතරේ පසුවන , කොළඹ , කළුතර , බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පදිංච් රජයේ සේවකයෝ , ව්‍යාපාරිකයෝ සහ මෑතකදී විදේශ ගත වී මෙරටට පැමිණ සිටින්නන් වීම විශේෂත්වයකි .
මොවුන් 03/24 දින රාත්‍රී 06.40 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් මෙම ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් එතැන් සිට කැනඩාවේ ටොරොන්ටෝ වෙත යාමට සැළසුම් කර තිබූ අතර , මොවුන් අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ද ලබා ගෙන තිබී ඇත .
මොවුන් අතරින් පළමු වැන්නා ගුවන් යානා නිශ්කාශන කටයුතු සදහා ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ කැනඩා වීසා බලපත්‍රය පිළිබද ඇති වූ සැකය මත , ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසු මෙම සියලුම දෙනා අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
එසේම ඒ වනවිටත් මොවුන් ගුවන් තොටුපොළ වෙත ඇරළවීම සදහා පැමිණ , ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටි තැරැව්කරු ද , අත් අඩංගුවට ගත් පිරිසගෙන් ලද තොරතුරු මත , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් තැරැව්කරුට අමතරව තවත් තැරැව්කරුවෙකු මෙරට අභ්‍යන්තරයේ සිට් මොවුන්ට මෙම පළා යාම සදහා අවශ්‍ය කූඨ ලේඛන සියල්ල සකස් කර දී තිබූ අතර මීට අමතරව කැනඩාවේ ද මොවුන්ට පහසුකම් සැළසීමට තවත් තැරැව්කරුවෙකු සිටින බවත් , මොවුන් මෙම ගමන සදහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 45 බැගින් , මෙම තැරැව්කරුවන් වෙත ගෙවා ඇති බවත් මේ පිළිබද සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
එසේම මොවුන් සියලු දෙනා මෙම ගමන පිටත්වීම සදහා ඉකුත් 03/17 දින සිට මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි බවට ද කරුණු අනාවරණය වී තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් පිරිස මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .